15 May 2017

සුන්දර ඇබර්ඩින් දියඇල්ලට සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේන සුන්දර ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරිමට පියවර ගැනීමට අඹගමුව ප්‍රාදේශිය සභාව තීරණය කර තිබෙනවා.

එහි ලේකම් එස්. සරවනබවන් මහතා පැවසුවේ ඇළදෝනා දියඇල්ල වශයෙන් හැදුන්වු මෙම දියඇල්ල සුදු අධිරාජ්‍යවාදින් විසින් පසුව එය ඇබර්ඩින් දියඇල්ල වශයෙන් නම් කර ඇති බවයි.

ඇබර්ඩින් දියඇල්ල උසින් අඩි තුන්සිය විස්සක් (320) පමණ වේ.

කෙසෙල්ගමු ඔයේ ජල ධාරිතාව වැඩි වන අවස්ථාවල එහි ජලය දියඇලි දෙකක් සේ පහළට ගලා බසිනු ලබනවා.

ඇබර්ඩින් දියඇල්ලට ඉහළින් තවත් කුඩා දියඇලි තුනක් ගලා බැසිම නිසා එහි සුන්දරත්වය නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

මෙසේ පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් දැනට අඹගමුව ප්‍රාදේශිය සභාව විසින් දියඇල්ල පහළට ගලා බසින ස්ථානයේම  නැරඹීමේ මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා.

ඉදිරියෙදි මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශයේ අනුග්‍රහය මත නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය හරහා එම දියඇල්ලට යෑමට ඇති මාර්ග දුෂ්කරතා සංවර්ධනය කර එම දියඇල්ලට නුදුරින් සනිපාරක‍ෂක පද්ධතියක්ද ඉදිකිරිමට පියවර ගෙන ඇති බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා අප සමඟ කියා සිටියේ.

මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනෙන් අනතුරුව ලක්ෂපාන දියඇල්ලද සංචාරක ප්‍රවර්ධන ව්‍යපෘතියක් ලෙස සංවර්ධනය කිරිමට නියමිත බවද වාර්තා වනවා.


No comments:

Post a Comment