18 May 2017

පහනක් පත්තු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි : ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා


මැරුණු මිනිහෙක් සැමරීමට පහනක් පත්තු කිරීමට හෝ සිහිපත් කිරීමට ඕනම කෙනෙකුට හැකියාවක් පවතින බව. අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඩෙංගු මර්දනය කිරීම පිළිබඳ ගම්පහ,මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ එම්.කේ ශිවාජිලිංගම් විසින් හෙට දිනයේ වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේ යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සිහිකිරීමේ වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමිනි.

ශිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ ලේ ඥාතියෙකු බව කියා තිබුණු නමුත් යුද මෙහෙයුම් සිදුවන කාලයේ එහෙව් හඳුනාගැනීමක් නොතිබුණු බවත්, ඕනම කෙනෙකුට යුද්ධයෙන් මිය ගිය තම ඥාතීන් සිහිපත් කිරීමට බාධාවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

මේ අයුරින් පහනක් පත්තු කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බවත්, ශිවාජිලිංගම් යනු ශක්තිමත් මනුස්සයෙකු නොවන බවත්, එහෙව් අය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට කාලය හා ශ්‍රමය කැප කිරීම කිසිම තේරුමක් නැති වැඩක් බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරනු ලබන්නේ වෙනත් පුද්ගලික න්‍යාය පත්‍ර වලට කටයුතු කරන අය බවත්, ඒ අයට තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමේ අවශ්‍යතාවක්ද පවතින බවත් ඔහු සඳහන් කළේය.

තමන්ට එලෙස ප්‍රතිරූප ගොඩනංවා ගැනීමේ අවශ්‍යතාවක් හෝ පුද්ගලික න්‍යායපත්‍රයක් නොමැති බැවින් දෙන ඇමති ධූරයක් ලබාගෙන උපරිමයෙන් සේවය කරන බවත්, තමාට ආණ්ඩුව ගැන කිසිදු කලකිරීමක් නොමැති බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

යහපාලනය කුමක්දැයි නිසි අර්ථකථනයක් සිදුකර නොමැතිවීම විශාල අඩුපාඩුවක් බවත්, එම නිසා ඕනම කෙනෙකුට ඕනම දෙයක් කිරීමට ඉඩදීම යහපාලනය යයි වරදවා වටහා ගැනීමක් පවතින බවත් හෙතෙම අවධාරණය කළේය.

අතීතයේ සිදුකළ වංචා, දූෂණ, අපරාධවලට දඬුවම් නොකර සිටීම යහපාලනය නොවන බවත්, රාජපක්ෂවරුන් කළ අපරාධවලට නීතිමය වශයෙන් නිසි පියවර ගත යුතුව ඇති බවත්, ඒවා ප්‍රමාදවීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment