18 May 2017

බුදු සසුන රඟ මඬලක් කරගත් නළුවන්ගේ නරි නාටක



බුදුන් සමච්චලයට ලක් කිරීම

“භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්‍ෂිත වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේට පීත ප‍්‍රාසාදයේ සුවඳ කුටියෙන් දම්සභා මණ්ඩපයේ මිණිපළඟට බැස වඩින්නට ආරාධනා කරමි”.

දොහොත් මුදුන් දී වැඳගත් පැවිදි වෙස් ගත්තෝ ඉහත දැක්වූ ආරාධනයෙන් ද නොනැවතී නව අරහාදී බුද්ධගූණ වන්දනාව ද කරති. එවිට සමන්තභද්‍ර නමින් පෙනී සිටින්නා අත්මුදුන් දී සිටිනා සැදැහැවතියන්ගේ සාධුකාර මධ්‍යයේ දම්සභාවේ මිණිපළඟ දෙසට පිය නගයි. මිණිපළෙඟහි වැඩ හිඳිනා සමන්තභද්‍රයන්ගේ ධර්ම දේශනය ඇරඹෙන්නේ අතවැසි පැචිද්දන් හා සැදැහැවතියන් ලවා භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්‍ෂිත වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා යනුවෙන් කර ගන්නා නමස්කාරයෙන් පසුවය.

මේ ඔබ දකින්නේ බුදුරදුන් සැවැත් නුවර ජේතවනාරාමයේ ගඳකිළියෙහි වැඩසිට දම්සභා මණ්ඩපයට වැඩමවන දසුනක් නොවේ. ඒ වනාහි සැරියුත් මුගලන් ඇතුළත් මහ රහතුන්ගෙන් පැවත එන වසර දෙදහස් පන්සියය ද ඉක්ම වූ සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි පළමු වරට බුදුන් හා සම තත්වයෙහි සිටින්නට උත්සාහ දරන ලාංකික පැවිදි වෙස් ගත්තකුගේ රඟ පෑමකි.

බුදුන් වහන්සේ දෙවුරම්හි වැඩචිසූ යහන් ගැබ සුවඳ කූටි (ගඳකිළි) යයි. ධර්මදේශනා කළ ස්ථානය දම්සභා මණ්ඩපයයි. බුද්ධ පරිනිර්වාණයේ සිට මේ දක්වා ගඳකිළියෙහි විසූ එක ද භික්‍ෂුවක් ගැනවත් ශාසන ඉතිහාසයෙහි සඳහන් නොවේ. එසේ නම් මේ රඟපෑම දෙව්බඹුන් සහිත මින්සුන්ගේ අතිමහත් ගෞරවයට පාත‍්‍ර වූ ශාන්ති නායක බුදුපියාණන් සමච්චලයට ගැනීමක් නොවන්නේද?

බුදුරුව යට ඇඳුම්වල යෙදීම, පාවහන්වල සටහන් කිරීම, යම් යම් පුද්ගලයන් බුදු පිළිම මත වාඩිවීම, කාන්තාවන් අඩනිරුවතින් බුදු පිළිම වැළඳ ගෙන ඡායාරූපවලට පෙනී සිටීම වැනි අවස්ථා අපි දැක ඇත්තෙමු. ඒවා බුදුන්ට කරන අපහාසයන් ලෙස සළකා ලිපි පළ කරන, උද්ඝෝෂණය කරන පිරිස් ද ඇත. එහෙත් බුදුරදුන් පැවිදි වෙස් ගත්තන් සමග සාමාන්‍යකරණය කර දැක්වීමට කරන ඉහත දැක්වූ උත්සාහයන් ගිහි ජනතාවට කෙසේ වෙතත් ශාසන භාරධාරීයයි කියා ගන්නා භික්‍ෂූන්ට නොපෙනෙන්නේ කුමක් නිසාදැයි වටහා ගැනීම අපහසුය.

අනුකරණයෙන් පමණක් නොනැවතී බුදුරදුන්ට විශේෂ වූ තත්ත්වයන්ගෙන් තමා සමානයයි පෙන්වීමට ද ඉහත කී පුද්ගලයා උත්සාහ දරන බව රහසක් නොවේ. තමන් සමන්තභද්‍ර යනුවෙන් හඳුන්වා ගැනීම ම බුදුරදුන්ට සමාන වීමට දරන උත්සාහයකි. සමන්තභද්‍ර යන්නෙහි අදහස හාත්පසින් ම යහපත් වූ, පිරිසිදු වූ යන්නයි. මෙය බුදුන්වහන්සේට පමණක් යෙදෙන විශේෂණ පදයකි. රහතන් වහන්සේ නමක්වත් සමන්තභද්‍රයයි තමන් සඳහා යොදා නොගනිති. ඒ, බුදුන්වහන්සේ කෙරෙහි පවත්නා ගෞරවය නිසාය. එහෙත් පණ්ඩිතයන් පය නොතබන තැන්වල මෝඩයෝ බඩපිනුම් ගසති.

හෙතෙම තමන් සත්‍යය සොයාගෙන ඇතැයි බොහෝ විට තම දේශන මගින් ප‍්‍රකාශ කිරීමට උත්සාහ දරයි. අන් සියලු භික්‍ෂූන් සාම්ප‍්‍රදායික මතවල එල්බගෙන ඇතැයි ද ඔවුන් ගෝත්‍රික මත දරන්නවුන්යයි ද තමන් පමණක් සත්‍යය සොයා ගෙන එය ලොවට ප‍්‍රකාශ කරන්නේයයි ද කියයි. සත්‍යය සොයා අවබෝධ කොට ගන්නේ බුදුවරයෙකි. සම්මා සම්බුද්ධයයි බුදුවරුන් හඳුන්වන්නේ සත්‍යය තමා විසින් ම දැන මනාව අවබෝධ කොට ගත් පුද්ගලයා යන අර්ථයෙනි. බුදුවරයෙක් තමන් අවබෝධ කර ගත් සත්‍යය ලෝකයට හෙළි කරති. එබැවින් ඒ බුදුවරයාගේ සසුන පවතින තෙක් තවත් කෙනකුට සත්‍යය සොයා ගැනීමට හැකියාවක් හෝ අවශ්‍යතාවක් නොමැත. හෙළි වී ඇති සත්‍යයේ නැවත හෙළි කරන්නට දෙයක් නොමැති බැවිනි. එසේ තිබියදී යමකු සත්‍යය සොයා ගත්තේයයි පවසන්නේ නම් හෙතෙම අමූලික බොරු කාරයකු වනු පමණක් නොව සත්‍යය සොයා ගත් බුදුන්වහන්සේට නිග‍්‍රහ කරන්නෙක් ද වෙයි.

බුදුන් වහන්සේ විසින් සොයා ගෙන අවබෝධ කරගනු ලැබූ සත්‍යය කුමක් ද? උන්වහන්සේගේ ම දේශනවලට අනුව ඒ වූ කලි අන් කිසිවක් නොව ප‍්‍රතීත්‍ය සමුත්පාද ධර්මතාවයි. මේ ධර්මතාව තුළ සත්වයාගේ සසර පැවැත්මත් එහි නිරෝධයත් විවරණය වෙයි. චතූරාර්ය සත්‍යය තූළින් ඉස්මතූ කොට දැක්වෙන්නේ ප‍්‍රතීත්‍ය සමුත්පාද ධර්මතාවේ ද්විත්ව කි‍්‍රයාකාරිත්වයයි.

බුදුන් වහන්සේ විසින් ම හෙළි කළ ධර්මයේ ලේශමාත්‍ර​යක්, එය ද වැරදි ලෙස ගෙන තමන් සත්‍යය සොයා ගත්තේයයි පැවසීමේ අරුත කුමක් ද? එහි ඇති එකම අරුත වන්නේ බුදුන්වහන්සේ හා තමන් අතර වෙනසක් නැතැයි හඟවමින් බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පහත හෙළීමයි, මෙය බෝහෝ දෙනකු වටහා ගෙන නැතත් ඉතාමත් බරපතල තත්වයක් බව අවධාරණය කළ යුතුය.

බුදුන්ට නිග‍්‍රහ කිරීම

යථෝක්ත පුද්ගලයා බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පහත හෙළීමට විවිධ උපාය මාර්ග උපයෝගී කර ගනියි. එහි එක් ක‍්‍රමයක් වන්නේ තමන් තුළ ඇති දුර්වලතා බුදුන්වහන්සේ තුළ ද පවත්නා බව ප‍්‍රකට කිරීමට උත්සාහ දැරීමයි. සිවුරු නැතිව ගිහියකු මෙන් හිඳ ඡායාරූප ගැනීම ගැන කිසිවකු ඇසූ විටෙක ඔහුගේ පිළිතුර වූයේ බුදුන්වහන්සේ ද සවස් කාලයෙහි සිරිතක් වශයෙන් සිවුරු ගලවා දමා සිටිනා බව අරියපරියේසන සූත්‍ර​යෙහි සඳහන් වී ඇති බවයි. මෙය අමූලික අසත්‍යයකි. එබඳු සඳහනක් සූත්‍ර​ පිටකයෙහි කිසිදු සූත්‍ර​යක දක්නට නැත.

මොහුගේ රහත් බවක් නැතැයි ඔප්පු කිරීමට ඔහු සමග විවාදයට පැමිණි පුද්ගලයකු වාචාල කෙළතොලු කථා කිරීමක් රහතුන්ගෙන් සිදු නොවෙතැයි පැවසූ විටෙක මොහු පැවසුවේ බුදුන් වහන්සේට ද එකල මිනිසුන් කෙළතොල්ලා යනුවෙන් නිග‍්‍රහ කොට ඇති බව සූත්‍ර​යන්හි සඳහන්හි වන බවයි. මෙය ද අමූලික බොරුවකි. විවාදයට සහභාගී වූ පුද්ගලයා මොහු තුළ මාන්නක්කාර බවක් දක්නට ඇතැයි කීවිට එයට පිළිතුරු දුන්නේ බුදුන් වහන්සේට ද එකල මිනිසුන් ශාක්‍ය වංශයේ මාන්නක්කාරයා කියමින් බැණවැදී ඇති බව පැවසීමෙනි.

බුදුන් වහන්සේව මාන්නක්කාරයකු වශයෙන් හැඳින්වූ කිසිදු අවස්ථාවක් කිසිදු සූත්‍ර​ ධර්මයක සඳහන් නොවේ. නිහතමාන නිරහංකාර කෙනකු ලෙස හැඳින් වූ අවස්ථා නම් කොතෙකුත් ඇත. පුබ්බභාසී, ඒහි සාගතවාදී යනු බුදුන් වහන්සේගේ ගුණ වැණුමට බොහෝ දෙනෙකු යෙදූ පද දෙකකි. පුබ්බභාසී යනු මුලින් ම කථාකරන්නා යන අදහසින් යෙදී තිබේ. කෙනකු මුණගැසුනු විට ඔහු කථා කරන තෙක් නොසිට මුලින් ම බුදුන් වහන්සේ ඔහුට ආමන්ත්‍රණය කරති. එබැවින් පුබ්බභාසී නමි. ඒහිසාගතවාදී යනු එන්න යහපතක් වේවායි පවසන්නායි. කෙනකු තමන්වහන්සේ හමු වීමට පැමිණෙන විට බුදුන් වහන්සේ එන්න. එන්න. යහපතක් වේවායි පවසමින් අමුත්තා පිළිගනිති. එබැවින් ඒහිසාගතවාදී යනු ද බුදුන් වහන්සේගේ ගුණ වැනීමට මිනිසුන් භාවිත කළ පදයකි. මේ දෙපදයෙන් ම උන්වහන්සේගේ නිහතමානී ගුණය ප‍්‍රකාශ කෙරෙයි.

බුදුන් වහන්සේට කෙළතොල්ලා යනුවෙන් කිසිවෙක් කිසි විටෙක චෝදනා කොට නැත. උන්වහන්සේ බස් වහර පිළිබඳව සූත්‍ර​වල සඳහන් වන්නේ යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඬගමා පහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති යනුවෙනි. කෙළතොලු නොවන, කන්කළු, පි‍්‍රය උපදවන, හදවතට යන, නාගරික වූ, බෙහෝ දෙනාගේ සිත් ඇදගන්නා, බොහෝ දෙනාට මනාප වන වචන කථා කරයි යනු එහි අහසයි. එබඳු වදන් පැවසූ බුදුන් වහන්සේට කෙළතොල්ලා යනුවෙන් කවරෙකුට නම් කිව හැකිද? තමන්ගේ කෙළතොලු කම වසා ගැනීමට බුදුන් වහන්සේ බිලි දීමට තරම් යමකු අලජ්ජි වන්නේ නම් ඒ, තම බත්පත වෙනුවෙන් නොවේ ද?

බුදුන් වහන්සේට ජනතාවගෙන් චෝදනා එල්ල වූ බවට වාර්තා වන්නේ කරුණු දෙකක් අරභයා පමණි. එහෙත් ඒ එකක්වත් උන්වහන්සේ කෙරෙහි පැවති දුර්වලතා අරමුණු කොට ගෙන නොවේ. බුදුන් වහන්සේ හඳුන්වා දුන් නව දහම මගධය පුරා ජනපි‍්‍රය වෙත්ම මගධයේ තරුණයෝ සමූහ වශයෙන් පැමිණ පැවිදි වූහ. එබැවින් දෙමාපියන්ට දරුවෝත් තරුණ බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයෝත් අහිමි වූහ. මෙය සීමාව ඉක්ම යන විට මගධ වැසියෝ බුදුන් වහන්සේට පවුල් විනාශ කරන්නකු බිරියන් වැන්දඹුවන් කරන්නකු ලෙස චෝදනා කළහ. මේ හැර බුදුන් වහන්සේ කුලවාදයට එරෙහිව දේශනා පැවැත්වීම නිසා උරණ ව කුලමානයෙන් උමතුවූ ඇතැම් බමුණෝ උන්වහන්සේට අපවාද කළහ.

බුදුන් වහන්සේට ඊර්ෂ්‍යා කළ නිගණ්ඨයෝ ද උන්වහන්සේට අභූත චෝදනා කළ බවට වාර්තා වෙයි. එහෙත් මේ එකද කරුණක්වත් බුදුන් වහන්සේ තුළ පැවති දුර්වලතාවක් පදනම් කොට නැත. කිසිවකුට ඇඟිල්ල දිගු කළ හැකි වන කායික වාචික හා මානසික දුර්ගූණ කිසිවක් උන්වහන්සේ කෙරෙහි විද්‍යමාන නොවීය. එබඳු කරුණක් ගෙන උන්වහන්සේට දොස් නැගූ කිසිදු අවස්ථාවක් වාර්තා වී නොමැත. උන්වහන්සේ නමින් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සද්ගූණවලින් පිරුණු බැචින් සමන්තභද්‍ර වූහ.

ධර්මය විකෘති කිරීම
එක් අරමුණක සිත එකඟ කර ගැනෙන වාරයක් පාසා භවය ඇති වන බව මොහු අවබෝධ කළ සත්‍යයට හසු වූ දෙයකි. මොහුගේ එක් දේශනයකින් මෙය කියවුනේ බෙහෙවින් අවධාරණාත්මකවය. භාවනාව අරභයා වූ මොහුගේ මෙම අදහස කෙතෙක් දුරට බුදුදහමට එකඟදැයි විමසා බැලීම වැදගත් වෙයි. බුදුන්වහන්සේ හෙළි කල සත්‍යයට අනුව නම් භවය ඇති වන්නේ උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසාය. උපාදාන පච්චයා භවො යනුවෙන් එය පටිච්චසමුප්පාද ධර්මයේදී පැහැදිලි කොට තිබේ. අරමුණක් තූළ සිත එකඟ කරන හැම වරක භවයක් ඇති වේ නම් කිසිවකූට කිසිදා නිවන සාක්‍ෂාත් කළ නොහැකිය.

අරමුණක් පිළිබඳව සිතක් ඇති වන හැම විටක ම අරමුණෙහි සිත එකඟ වීමක් අනිවාර්යයෙන් ම ඇති වෙයි. එකඟතාව (ඒකග්ගතා) හැම සිතකම පහළ වන චෛතසිකයක් වන බැවිනි. එසේ නම් කෙනකූට නිවන් දැකීමේ අවස්ථාවක් කිසිදා හිමි නොවෙයි. භවය අති කරවීමේ සාධකය වන උපාදානය ඇති වන්නේ ලෝභ ද්වෙෂාදියෙන් මෙහෙයවන ලද චේතනාව නිසාය. බුදුදහමට අනුව නම් සමථ විදස්සනා යන ක‍්‍රම දෙකේදී ම අරමුණෙහි සිත එකඟ නොකර නිවන් දැකීමේ පිළිවෙළක් නොමැත. එකඟතාවට පත්වූ (සමාහිත වූ) සිතෙහි පමණක් ආසවක්ඛය ඤාණය (කෙලෙස් දුරු කිරීමේ නුවණ) අවසන් කොට ඇති සෙසු විශෙෂ ඥන (අභිඥ) පහළ වෙයි.

සියලු ආගම්වලින් කියවෙන්නේ එක ම සත්‍යයකි යනු ද සමන්තභද්‍ර නමින් පෙනී සිටින්නා නිතර අවධාරණය කරයි. මෙහි පුදුමය වන්නේ මොහු සත්‍යය අවබෝධ කළ රහතෙකැයි හඟවමින් මෙබඳු ප‍්‍රකාශ කිරීමයි. ඉහතින් ද සඳහන් කළ පරිදි බුදුදහමින් පැවසෙන සත්‍යය ප‍්‍රතීත්‍යසමුද්පාද ධර්මතාවයි. මෙය බුදුදහමින් හැර වෙනත් කිසිදු දහමකින් පැවසුණු සත්‍යයක් නොවේ. බුදුදහමින් හෙළි කරන නිවන පිළිබඳව ද කිවයුත්තේ මෙයමය. මෙහි ලා එක් නිදසුනක් පමණක් දැක්වීම ප‍්‍රමාණවත් වනු ඇතැයි සිතමි. හින්දු ආගමට දාර්ශනික පදනම සපයන උපනිෂද් දර්ශණයෙහි ද විමුක්තිය (නිවන) ගැන කියවෙයි. මෙම විමුක්තිය යනු පුද්ගල ආත්මය පරමාත්මය සමඟ ඒකත්වයට පත් කිරීමයි. ආත්ම සංකල්පය සම්පූර්ණයෙන් ම ප‍්‍රතිෙක්‍ෂප කරන බුදුදහමින් නිවන ලෙස දැක්වන්නේ සියලූ කෙලෙස් දුරු වීමයි.

භික්‍ෂුව හෑල්ලු කිරීම

බුදුසසුනෙහි භික්‍ෂුව සන්සුන් ඉරියවු ඇති උපශාන්ත යතිවරයෙකි. ධර්මදේශනයකදී විශේෂයෙන් ම සන්සුන් බවක් පෙන්වයි. එහෙත් අද රහතුන්යයි හඟින්නෝ මිණිපළඟ අරා සිටිමින් ම ජුගුප්සා ජනක ලෙස හස්තවිකාර මුඛවිකාර දක්වති. අසංවර වූ වචන භාවිතයෙහි යෙදෙති. ඇතැම් භික්‍ෂූහු දේසපාලන අතකොලු බවට පත්ව භික්‍ෂු වෙශයෙන් ම උද්ඝෝෂණවලදී යකා නටති. මහසොහොන් දිෂ්ටියෙන් සිවුරු ගලවා ගෙන දුම්මල වරමින් නටති. මහ තෙරවරු තම අතවැසි හෙරණුන් අලජ්ජී ලෙස හැසිරෙද්දී ඇස් කන් නැති අඳ බිහිරන් සේ සුව යහන්හි නිදි වදිති. බුදුන් දහම් සඟුන් පරිභවයට ලක් කරන පැවිද්දන් පළවා හැරීමට හෝ යහමගට ගැනීමට ධර්මයට හා ශාස්තෘ ශාසනයට අනුව (යථාධම්මං යථාසත්ථං) පිළියම් තිබියදී ඒවා කිසිත් නොකර බුදු සසුනේ ආරක්‍ෂාව සක් දෙවිඳුන්ගෙන් සිදු වන තෙක් බලා සිටිති.

අද ලංකාවේ ථේරවාද බුදුසසුන තාමත් පිරිසුදුව ඇතැයි මහනාහිමිවරු ද වදාරති. බුදුසසුන පිරිසුදුව පවතින්නට නම් සසුන නියෝජනය කිරීමේ පරම වගකීම ඇති භික්‍ෂූන් වහන්සේ අනුනට ආදර්ශවත් වෙමින් ධර්ම විනයානුකූල ජීවිතයක් ගෙවිය යුතුව තිබේ. ඔවුනොවුන් පරයා තමා කැපී පෙනීමට සසුන රඟ මඬලක් කර ගන්නවුන්ගෙන් ද දේශපාලන මඩ ගොහොරුවෙහි නිමග්න වූවන්ගෙන් ද තමන් කැමති දැ ඉටු කර ගැනීමට පොලිසිය හා හමුදාවන් සමග සිවුරු කැස කවා ගෙන පොර බදන්නවුන්ගෙන් ද සසුන පිරිසුදු වේනම් ලක් බුදුසසුන අතිශයින් පිරිසිදු බව කිවයුතුය.

|මහාචාර්ය කපිල අභයවංස

No comments:

Post a Comment