29 June 2017

පෙට්යා වෛරසය රටවල් 64කට බලපෑම් සිදුකරලා

ලොව පුරා සමාගම් රැසකට බලපෑම් කළ පෙට්යා රැන්සම් වෙයාර් පරිගණක වෛරසය දෝෂ සහිත ගණකාධිකරණ මෘදුකාංග යාවත්කාලීන කිරීමක ප්‍රතිඵලයක් විය හැකි බවද පරිගණක ආරක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම, යුක්රේනය භාවිත කළ මෙඩොක් නමැති බදු ගොනු කිරීමේ මෘදුකාංගයක් මෙම වෛරසයේ මූල බීජය විය හැකි බව ෆින්ගර්ස් ආරක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙවැනි මැල්වෙයාර් බොහෝ පරිගණක ජාල තුළට ඊමේල් ඇමුණුමක් ලෙස කාන්දු වන බවත්, බොහෝ පරිශීලකයන් වැරදීමකින් මෙවැනි නාඳුනන ඊමේල් විවෘත කිරීමත් මෙවැනි වෛරස පැතිරීමට හේතුව බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙවර ඇති වූ පෙට්යා පරිගණක වෛරසය මේ වනවිට රාජ්‍යයන් 64ක පරිගණක පද්ධති වෙත බලපෑම් කර ඇති අතර, එසේ බලපෑම් සිදුවූ රාජ්‍යයන් අතර යුක්රේනය, ජර්මනිය, රුසියාව, බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටියි.

යුක්රේනයේ බැංකු හා මහා පරිමාණ වෙළෙඳ සැල්, රුසියාවේ ඛනිජ තෙල් දැවැන්තයෙකු වන රොස්නෙෆ්ට්, බ්‍රිතාන්‍යයේ ඩබ්.පී.පී. දැන්වීම් සමාගම සහ ඇමෙරිකාවේ නීති සමාගමක් වන ඩී.එල්.ඒ පයිපර් ආදිය මෙම පරිගණක වෛරසයෙන් බැට කෑ ආයතනයි.

පරිගණක වෛරස් ආරක්ෂණ මෘදුකාංග සමාගමක් වන ඊසෙට් පවසන පරිදි, මෙම පරිගණක වෛරසයේ 80%ක පමණ බලපෑමක් යුක්රේනය වෙතද, 9%ක පමණ බලපෑමක් ජර්මනිය වෙතද, අනෙක් බලපෑම් සෙසු රටවල් වෙතද සිදුව ඇති බව සඳහන් වෙයි.

No comments:

Post a Comment