29 June 2017

උමා ඔය ගැන හොයන්න කමිටුවක් – ජනතාවගෙන් විරෝධතා රැළියක්


මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ මහ කළු හර්තාලයක් අද ආරම්භ කරන බව  උමා ඔය බහු ව්‍යාපෘතියට එරෙහි පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ලක්බිමට පවසනවා.

ප්‍රදේශවාසීන්, විවිධ බහුජන සංවිධාන, සමිති සමාගම්, පරිසර සංවිධාන, නීතිඥ සංගම්, උගතුන්, විද්වතුන් මෙම හර්තාලයට එක්වන බවට සිය ජනතා පෙරමුණ වෙත දැනුම් දී තිබෙන බවයි ඔහු සදහන් කළේ.

මෙහිදී මුළුමනින්ම නගර වැසී යන බවත්, එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථාන, පාසල් ප්‍රවාහන සේවා සංගම්, පරිසර සංගම් ගණනාවක් මෙයට එක්වෙන බැවින් එම ප්‍රදේශයේ වෙනත් කිසිදු කටයුත්තක් සිදුනොවන බවද සඳහන් කළ ඒ මහතා මෙය පෙරවරු 9.00ට ආරම්භ කර දවස පුරා පවත්වන බවද කියා සිටියා.

උමා ඔය ව්‍යාපෘතියෙන් විනාශයට පත් ප්‍රදේශවාසී ජනතාවට වහා සහන ලබා දීම, ඉදිරි විනාශයන් වහා නතර කිරීම, වැනසූ මහ පරිසර පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වහා ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලකරමින් මෙම මහා කළු හර්තාලය සැලසුම් කර තිඛෙනවා.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට බරපතළ අනතුරකට මුහුණදී තිබෙන බණ්ඩාරවෙල ප්‍රදේශය අවදානම් කලාපයක් බවට පත් කිරිම, නිවාස ඉඩම් වගාබිම් ඇතුළු දේපල හානි වූවන්ට නිසි ලෙස වන්දි ගෙවීම, මෙම ව්‍යාපෘතිය නිසා ඉදිරියට සිදුවීමට නියමිත හානි නැවැත්වීමට කටයුතු කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉටු කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව පැවත්වෙයි.

ඒ මහතා පෙන්වා දෙන අන්දමට මේ වන විට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම දැඩි හානියකට ලක්ව ඇති අතර  පුපුරා විනාශයට ලක්ව ඇති නිවාස ගණන 7000කට වඩා වැඩි බවයි ප්‍රකාශ වන්නේ.ළිං දිය උල්පත්, දියකඳුරු, කුඩා වැව් සහ ඔයවල් 3112ක් සිඳී ගොස් ඇති බවද සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියා. බණ්ඩාරවෙල නගරයේ තට්ටු 4-5-6 මහල් ගොඩනැගිලි අඩි 2-3 ගිලා බැසීම්වලටත් ඇලවීම්වලටත් ලක්ව තිබෙන අතර තවත් අනතුරු  නිර්මාණයවී තිඛෙනවා.

No comments:

Post a Comment