29 June 2017

උමා ඔය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

උමා ඔය ව්‍යාපෘතියට විරෝධය දක්වමින් බණ්ඩාරවලදි ජනතාව පැවැත්වූ විරෝධතාවට තමන්ද එකඟ බව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. හැටන් හයිලන්ඩේස් දෙමළ විද්‍යාලයට වසර එකසිය විසිපහක් සපිරීම හා එම විද්‍යාලයේ වාර්ෂික තෑගි ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ජනපතිවරයා මේ බව පවසා සිටියේය. මෙම උත්සවය හැටන් ඩී.කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණි.

"උමාඔය ව්‍යපෘතිය නිසා ජනතාවට සිදුවී හිරිහැර හේතුවෙන් බණ්ඩාරවෙල විශාල උද්ඝෝෂණයක් තිබුණා. ඒ ව්‍යාපෘතිය ආරම්භ කළ පසුගිය ආණ්ඩුව ඉංජිනේරුවරුන්ගේ උපදෙස් ප්‍රතික්ෂේප කර දේශපාලන තීරණ ගත් නිසා තමයි මෙම තත්ත්වය මතුවී තියෙන්නේ.

ඒවගේම ඒ ආණ්ඩුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඉරාන රජයෙන් අපිට උහුලන්න බැරි විශාල ණයක් ගත්තා. නමුත් ඉංජිනේරුවරුන් කියපු විදියට ව්‍යාපෘතිය නෙවෙයි පටන් ගත්තේ. මම ජනාධිපති ධුරයට පත්වූ පසු එම ව්‍යපෘතියේ කටයුතු නවතා දැමීටම ඇති හැකියාව පිළිබඳව සොයා බැලුවා.

නමුත් ඒ වන විට එම ව්‍යපෘතියේ වැඩකටයුතුවලින් තුනෙන් දෙකක වැඩ අවසන්. ඒ වගේම විශාල ණයක් අරන් තිබුණ නිසා විශාල ප්‍රශ්න තිබුණත් එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. මේ නිසා එම ප්‍රදේශවල ජනතාවට කරදර රැසකට මුහුණපාන්න සිදුවී තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය සතියේ විශේෂඥයන් පිරිසක් මම කැඳවූවා. එහිදී ජර්මන් විශේෂඥයෙකු දවස් තුනකට කලින් පර්යේෂණ කරන්න උමාඔයට යැවුවා. මෙවැනි කැණීමි කටයුතු පිළිබඳ හොඳම ඉංජිනේරුවන් සිටින්නේ නොර්වේ වලයි. මම ඒ රටින් විශේෂ කළ  විශේෂ ඉල්ලීමක් අනුව ඒ රටෙන් විශේෂඥයන් පිරිසක් එනවා මේ ගැන බලන්න.

ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා විදේශීය විශේෂඥයන්ගේ උදවු උපකාර ලබාගෙන ජනතාවගේ පීඩාව නැති කරන්න. බණ්ඩාරවෙල ජනතාවගේ උද්ඝෝෂණයට මමත් එකඟයි. මමත් ඒ ජනතාවගේ පැත්තේ. කවුද මේ වැරද්ද කළේ කියලා හොයනවා. මේ වගේ විනාශයක් වෙද්දි වැරද්ද කරපු අය නිහඬව ඉන්නවා.

ඉංජිනේරුවරු දුන්න උපදෙස් පිළිපදින්නේ නැතිව දේශපාල නීතින්දු අරන්  කෝටි ගණන් වංචා කරපු අය දැන් නිහඬව ඉන්නවා. මෙම ව්‍යපෘතියේ ඇස්තමේන්තු පවා හැදුවේ වැරදි විදියට බව මම පෞද්ගලිකව දන්න කාරණයක්. ඒ විදියට ඇස්තමේන්තු හදලා කෝටි ගණන් සාක්කුවල දාගත්ත අය ඉන්නවා. මම ඒ අය ගැන පරීක්‍ෂණ පවත්වනවා. මේ කාරණය ඔබට අදාළ නැති වුණත් මේ රටේ ජනතාව දැනගත යුතුයි" යැයිද පවසා සිටියේය.

No comments:

Post a Comment