29 June 2017

හොංකොං නිදහස් සැමරුමට ජිංපිං ප්‍රථම වරට එරටට එයි

 හොංකොං වෙත නිදහස හිමිවීම හෙවත් එහි පාලනය මහා බ්‍රිතාන්‍ය විසින් යළි චීනයට භාරදීමේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනපති ෂී ජිංපිං අද (29දා) හොංකොං දේශයේ සංචාරයකට එක්ව තිබේ.

2012 වසරේදී චීනයේ නායකයා බවට පත්වීමෙන් පසුව ඔහු හොංකොං වෙත සංචාරයක් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය වීමද විශෙෂත්වයකි.

විශේෂයෙන්ම, හොංකොං රාජ්‍යයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පවතින දේශපාලන මතභේද පසුගිය කාලය පුරාවට දැකගත හැකි වූ අතර, එහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන සී.වයි.ලියුන්ග් බලයෙන් පහ කරන ලෙස රට පුරා උද්ඝෝෂණ මාලාවක්ද පැවැත්විණි.

කෙසේ වෙතත්, මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම වෙනුවෙන් එරට විශේෂ උත්සව හා සැණකෙළි සංවිධානය කර ඇති බවද විදෙස් වාර්තා පවසයි. නමුත්, මේ උත්සවය අතරතුර බීජිං පාලනයට විරෝධය පෑ උද්ඝෝෂණ කිහිපයක් පැවති බවද සඳහන් වෙයි.

ඒ අනුව, චීන ජනාධිපතිවරයා හොංකොං වෙත ගොඩබසින අවස්ථාව වනවිට උද්ඝෝෂණවලට සම්බන්ධ වූ ක්‍රියාධරයන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට පත්ව තිබූ බවද විදෙස් වාර්තා පවසයි.

මෙවැනි පසුබිමක චීන ජනාධිපතිවරයා දින තුනක සංචාරයක් සඳහා සිය බිරිඳ වන පෙන්ග් ලියූන්ග් ද සමග හොංකොං වෙත ළඟා වූයේ එරට ප්‍රධාන ගුවන් තොටුපොළ වන චේක් ලැප් කොක් ගුවන් තොටුපොළෙනි.

හොංකොං වෙත ගොඩබැසීමෙන් පසුව අදහස් දැක්වූ චීන ජනපති ජිංපිං කියා සිටියේ හෙංකොං රාජ්‍ය සෑමවිටම තම හදවතේ රැඳී ඇති බවයි.

No comments:

Post a Comment