26 June 2017

රජ පවුලේ ඕනෑවට ඩයනා මරා දැමූ බවට කී පුදගලයාගේ කතාව බොරුවක් බව හෙලිවෙයි

පසුගිය 2017 ජුනි 19 වනදා, එංගලන්තයේ පළවන ‘යුවර් නිව්ස් වයර්‘ නමැති වෙබ් අඩවියක් මගින් මුල්වරට ප්‍රචාරය කර හරින ලද පුවතක් මේ වනවිට ප්‍රධාන ධාරාවේ නොවන වෙබ් අඩවි රාශියක් මගින් හා මුද්‍රිත ටැබ්ලොයිඩ් මාධ්‍යයේ ඇත්තක් ලෙස සලකා පතුරුවා හැර තිබේ.

එහි දැක්වෙන්නේ ලෝකයම කම්පාවට පත් කරමින් 1997 දී ඩයනා කුමරිය හදිසි අනතුරකින් මියගිය සිද්ධිය ඝාතනයක් බවත් ඒ කාර්යය කිරීමට රාජකීය පවුලෙන් තමන්ට අණක් ලැබුණ බව කියන ජෝන් හොප්කින්ස් නමැති 80 හැවිරිදි විශ්‍රාමික MI5 ඒජන්තවරයෙකු ගැනත්ය.

විශ්‍රාමික බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නියෝජිතයෙකු බව කියන ජෝන් හොප්කින්ස් මහතා ලන්ඩනයේ රෝහලක කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ඉන් ඉවත්ව ගොස් සති කිහිපයක් ගතවීමෙන් පසු මෙම කාරණා හෙළිදරව් කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

1973 සිට 1999 දක්වා පාලකයින් බ්‍රිතාන්‍ය බුද්ධි අංශය ලවා කරවූ ඝාතන 23 ක් සම්බන්ධව හොප්කින්ස් චෝදනා කරන බවත් ඉන් එකම කාන්තා ඝාතන නියෝගය වූයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවත් එහි සඳහන් කර ඇත. දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් සහ වෘත්තීය සමිති නායකයන්ද මේ ඝාතන ලැයිස්තුවේ සිටින බව ඔහු හෙළි කර ඇතැයි වෙබ් අඩවියේ සඳහන්ව ඇත.

ඩයනා යනු ලස්සන, කරුණාවන්ත කාන්තාවක් වන නමුත් එකල බ්‍රිතාන්‍ය කිරීටය ඇය නිසා අවදානමට ලක්ව සිටි බැවින් මෙම ඝාතන නියෝගය නිකුත්වූ බවද ඔහු පවසා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් මෙම පුවත සත්‍යයෙන් තොර ව්‍යාජ එකක් බව දැන් තහවුරුවී තිබේ.

පසුගිය කාලය පුරාම බ්‍රිතාන්‍යය තුළ ව්‍යාජ පුවත් ඇසුරින් ජනප්‍රිය රැල්ලක් නිර්මාණය කිරීමට උත්සාහ කරන ලද YourNewsWire වෙබ් අඩවිය මෙම පුවත පළකර ඇති අතර එය පළ කළ පසුව අවශේෂ වෙනත් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය මෙම පුවත නැවත නැවත පතුරුවා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දී ඇත.



මෙම සම්පූර්ණ ප්‍රවෘත්තියම ව්‍යාජ එකක් බව බ්‍රිතාන්‍ය තොරතුරු සේවා උපුටා දක්වමින් ‘ස්නෝප්ස්‘ වෙබ් අඩවිය පැහැදිලි කර තිබේ.

මෙම හොප්කින්ස් සිටින්නේ කොහේද එවැන්නක් ඔහු කියන්නේ කවදාද සහ කොහිදීද ආදී තොරතුරු කිසිවක් හෝ එම පුවත සමග පළවී නැත. එක්තරා වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පමණක් එහි අන්තර් ගත කර ඇති අතර ඒ ජොන් හොප්කින්ස්ද වෙනත් කිසිවෙක්ද යන්න කවුරුවත් හඳුනා නැත.

ඇතැම් වෙබ් අඩවි මෙම පුවත සමග වයෝවෘද්ධ අයෙකු කතාකරන වීඩියෝවක් අමුණා තිබෙන නමුත් එම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා අදාළ පුවත කොලයක් බලා කියවනවා මිස ජෝන් හොප්කින්ස් ඔහු නොවේ.

ඩයනාගේ මරණය වැනි ජනප්‍රිය මාතෘකාවකට අදාළව මෙතරම් ආකර්ෂණිය පුවතක් ඇත්තක් වේ නම් ඒ ගැන බොහෝ තැන්වල කථාබහ විය යුතු නමුත් මෙම පුවත බ්‍රිතාන්‍යයේ හෝ වෙනත් රටක ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යයක පළ කර නැත.

මෙම ව්‍යාජ ලිපිය හා එය සමග ඇතැම් මාධ්‍ය පළ කළ වීඩියෝව පහතින්..










No comments:

Post a Comment