26 June 2017

ආණ්ඩුව ඇතුළේ අලුත්ම දෙදරිල්ල

පසුගිය විසි වැනිදා හදිසි ආණ්ඩු පක්‍ෂ රැස්වීමක් කැඳවා තිබිණි. සාමාන්‍යයෙන් එය මෙහෙයැවන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ය. එහෙත්, එදා ජනාධිපති මෛත්‍රී ද එයට සහභාගී විය. ඔහුගේ පැමිණීම කාටත් කුතුහලයක් ගෙන දෙන්නක් ම විය. කුතුහලයකට එහා ගිය ආන්දෝලනයක් ද ඇති කරවන්නක් විය. කෙසේ නමුදු, මෛත‍්‍රී මූලාසනය ගත් පසු අමුතු ම කතාවක් කළේ ය.

“මම ඉතා ම වැදගත් දෙයක් කතා කරන්න ආවේ. ඒත් ඇමතිවරුන් විසිඅටක් ම ඇවිත් නැහැ. ඒ හින්දා ඒ ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඊ ළඟ දවසේ ඒ ගැන කතා කරන්නම්…” යැයි කිව්වේ ය.

මේ කතාවෙන් කවුරුත් තක්කුමුක්කු වී ගියේ ය. මොකක් ද මේ කියන්න හදන අමුතු කතාව. හැමෝ ම කසුකුසු ගාන්න පටන් ගත්තා. ඒත් කිසිවෙක් ඒ ගැන මෛත්‍රීගෙන් හෝ රනිල්ගෙන් හෝ අහන්න ගියේ නැත. ආරංචියේ හැටියට ඇමතිමාරුවත් එක්ක ඇතුළේ ලොකු අවුලක් ය. ඇමති මාරුවටත් වඩා විෂයයන් බෙදිල්ලෙන් අවුල තව ලොකු අවුලක් ම වී ඇත. මුදල් ඇමති රවී මාරු කළේ ඔහුට විරුද්ධව තිබූ ඇතුළේ විරෝධය හා ජනතා විරෝධය යන දෙක නිසා ය. ඒත් විදේශ ඇමති ලෙස රවීට මුදල් අමාත්‍යාංශයේ ප‍්‍රධාන ආයතන දෙකක් ලබා දීමෙන් අලුත් ප‍්‍රශ්නයක් ඇති කරපු තත්ත්වයක් නිර්මාණය කොට ඇත. ‘එකක් කඩතොලු මකා ගන්නට ගොස් ගොඩක් කඩතොලු ඇති කළේයා’ වැනි තත්ත්වයක් ඇති වී ඇත. පුදුමයට කරුණ නම් විදේශ අමාත්‍යාංශය භාර ගන්න නම් ආයතන දහසයක් තමන්ට ඕනෑ යැයි කොන්දේසියක් පනවා තිබීම ය. ඒ කියන්නේ රවී ආයතන දහසයක් නම් කර ඉල්ලා ඇත. එය නොදෙන්නේ නම්, පසු පෙළ මන්ත්‍රී කෙනෙකු ලෙස වාඩි වී සිටින බවට තර්ජනයක් ද කර ඇත.

මේ ඉල්ලා ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ හොඳ ම ආයතන ටික ය. කෙසේ වෙතත්, අන්තිමේ දී ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය රවීට දී ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ සල්ලි උල්පතක් ය. පසුගිය රාජපක්‍ෂ  පාලන කාලයේ දී මේකෙ සල්ලි විවිධ අයථා වැඩවලට යොදා ගත්තේ ය. ඒ නිසා ම එහි හිටපු සභාපතිට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැමිණිල්ලක් ද දැම්මේ ය. ඊට අනුව උසාවියේ නඩුවක් ඇසෙමින් පවතී. එවන් ආයතනයක් විදේශ ඇමති ම ඉල්ලන්නේ ඇයි ද යන්න මුළු රටට ම හිතා ගත හැකි ය. හොරකම කරන්නට එළිපිට ම ලයිෂන් ඉල්ලා ගැනීමක් බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

මේ ඉල්ලපු ඉල්ලීමට රනිල් එකඟ වී ඇත. රනිල් රවීට බය ය. බය වෙන මොකකටවත් නොවේ, එකට කරපු දේවල් එළියට එන එකට ය. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන හරියට ම දන්නේ හතර දෙනෙක් ය. රවී, රනිල්, මලික්, අර්ජුන් යන හතර දෙනා ය. රවී තරහා කර ගත්තොත්. කොහෙන් කෙළවර වෙනවා ද යන්න සැකසහිත ය. ඒ නිසා ම කොච්චර නොගැලපෙනවා ද යන්න දැන දැනත් රවීට ලොතරැයි මණ්ඩලය ලබා දීමට රනිල් ඉදිරිපත් වී ඇත. ජාතික ලොතරැයි මණ්ඩල පනතේ ඉතා පැහැදිලිව ම එම ආයතනය මුදල් විෂයභාර ඇමතිවරයා යටතේ පවතින බව සඳහන් ය. එසේ තිබිය දී, නීතිය පවා නොසලකමින්, රවීට එය ලබා දුන්නේ ය. අමාත්‍ය මණ්ඩල ඉතිහාසයේ සිදු වූ බරපතළම වැරැද්ද දැන් සිදු වී අවසන් ය.

ආණ්ඩුව ඇතුළේ ඇමතිවරු, මන්ත්‍රීවරු විශාල පිරිසක් මේකට විරුද්ධ ය. සමහරු එළිපිට ම ඒ ගැන අදහස් පළ කළහ. තවත් බොහෝ යූ.එන්.පී.යේ ම පිරිසක් තැන්තැන්වල විරුද්ධව කතා කරති. ඒ හැමෝ ම ජනතාවට උත්තර දී ගන්න බැරි අන්තිම අමාරු තත්ත්වයකට පත් වී ඇත. ඇමති මාරුව සිද්ධ වෙච්ච වෙලාවේ අලකලංචි ගොඩක් සිදුව ඇත. මොනරාගල රංජිත් මද්දුමබණ්ඩාර ඉල්ලා තිබුණේ ඉඩම් ඇමතිකම ය. ඔහුට ඉඩම් දීලා ගයන්තට රාජ්‍ය පරිපාලනය දෙන්නට ලෑස්ති වුණේ ය. එහෙත්, ගයන්ත ඒකට කැමති වුණේ නැත. ගයන්ත කොච්චර නැහැ කීවත්, රවී වගේ ම ආයතන කීපයක් ඉල්ලා ඇත. ලැජ්ජාව වහ ගන්න එහෙ ම ඉල්ලූවේ නැහැ කීවාට ආණ්ඩුව ඇතුළේ හැමෝ ම ඒ ගැන හොඳින් දනිති.

විදේශ නියෝජ්‍ය ඇමතිකම දී ඇත්තේ, අනෝමා ගමගේට ය. වසන්ත සේනානායකට පෙට්‍රෝලියම් නියෝජ්‍ය ඇමතිකම දී ඇත. එහෙත්, වසන්ත තමන්ගේ සහතිකයේ “මම මෙය භාර නොගනිමි.” යැයි ලියා ආපසු භාර දී ඇත. එතැනින් ම ලොකු අර්බුදයක් මතු වී ඇත. සහතික පත් ලබා දීමෙන් පසු මෛත්‍රී ඔහු සමඟ කතා කර යම්තම් ප‍්‍රශ්නය විසඳාගෙන ඇත. පැය භාගයකට පසු ඇමතිකම් නැවත වෙනස් කොට ඇත. අනෝමා ගමගේට ආපහු පෙට්‍රෝලියම් එක දී වසන්තට විදේශ නියෝජ්‍ය ඇමතිකම භාර දී ඇත. ලසන්ත අලගියවන්නට මුදල් හා මාධ්‍ය ලැබී ඇත්තේ, අමුතු ම විදියකට ය. මංගල එක්ක ලක්‍ෂ්මන් යාපා එකට තියන්නට බැරි නිසා වෙනස් කරන්නත් ඕනෑ විය. එසේ වෙනස් කර කරුණාරත්න පරණවිතාන මාධ්‍ය එකේ ම තියන්න මුලින් අදහස් කොට ඇත. ඒත්, ශ්‍රී.ල.නි.ප.යේ අය කියා ඇත්තේ, මුදල් හා මාධ්‍ය නියෝජ්‍ය එක තමන්ගේ පක්‍ෂයට අයිති එකක් කියා ය. පරණවිතාන පත් වුණේ එ.ජා.ප.යෙන් නිසා ඔහුට එය දෙන්නට නොහැකි බව ය. ඒ නිසා ම එකපාරට ම පැත්තක හිටපු අලගියවන්නට මුදල් හා මාධ්‍ය ලැබී ඇත.

මේ කතා ඇහෙන කොට ඇමති මණ්ඩලය මහා විකාරයක් බව හරි පැහැදිලි ය. විද්‍යාත්මක කිව්වට මෙහි ඇති කිසි විද්‍යාවක් නැත. අවිද්‍යාවටත් එහා ගිය පටු පෞද්ගලික බඩගෝස්තරය මෙහි පදනම වී ඇත. දැන් ඇමති මාරුව අවසන් ය. මේ දිනවල සිදු වන්නේ ආයතනවල සභාපතිලා, ලේකම්ලා, අධ්‍යක්‍ෂවරු වෙනස් කිරීම ය. මාධ්‍ය අමාත්‍යාංශයේ ආයතන කිහිපයක තනතුරු මාරු වෙමින් පවතී. ගුවන්විදුලියේ, ස්වාධීන රූපවාහිනියේ හා තවත් ආයතනවල වෙනස්කම් සිදු වෙමින් පවතී. එක ම ආණ්ඩුවේ ඇමති වෙනස් වෙන කොට පහළ තනතුරු ද වෙනස් වේ. එහෙ ම ගත්තා ම ඒ ආයතනවල මුල ඉඳලා ආයේ වැඩ පටන් ගන්න තත්ත්වයක් අනිවාර්යයෙන් ම ඇති වේ. මේ පුටු මාරු කිරිල්ලත් එක්ක ඇතුළේ මහා අවුල් ජාලාවක් නිර්මාණය වෙමින් පවතී. රටේ ඇති වෙච්ච ආණ්ඩු විරෝධය සමහන් කරගන්න ගිහින් ප‍්‍රශ්න වැලක පැටලිලා ඉන්න බව හරි පැහැදිලි ය.

මේත් එක්ක ම නුවරඑළිය නගරයේ තිබුණු ඉතා ම අලංකාර වටිනා සම්පතක් වන ප‍්‍රධාන තැපැල්කාර්යාලය හෝටලයකට විකුණා දැම්මේ ය. නුවරඑළිය නගරයේ සංකේතය වගේ සුද්දාගේ කාලයේ ඉඳන් තිබුණු තැපැල් කාර්යාලය දැන් පෞද්ගලික හෝටලයක් ය. ඒ විදියට රට පුරා ම ඇති හොඳම සම්පත් ටික විකුණා දමන්නේ ය. හොරු අල්ලනවා වෙනුවට තවමත් හොරු හුරතල් කරන්නේ ය. අලුත් හොරු බිහි වන්නේ ය. දැන් ඇත්තේ පරණ හොරු වෙනුවට අලුත් හොරු වැඩ පටන් ගැනීම ය.

ඒ මඳිවාට රට පුරා ම ජාතිවාදය, ආගම්වාදය මෝදු වෙමින් පවතී. අවුරුදු දෙකහමාරක් ගිහිල්ලා, ආණ්ඩුවට අඩු ම ගාණේ ජාතිවාදය අවුස්සන මූලිකයාව හඳුනා ගන්නවත් බැරි විය. ඒ නිසා ම නියපොත්තෙන් කඩන්න තිබුණු ප‍්‍රශ්නයක් පොරොවෙන් කපන්නවත් බැරි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඇමතිවරු හිටපු ගමන් එක එක දේවල් කියති. ඒ කියපු කටින් ම ආපහු සමාව ගනිති. ආණ්ඩුව බලයට පත් කරන්න මහන්සි වුණු හැම බලවේගයක් ම මේ තත්ත්වය ගැන කලකිරී ඇත. නීතිය, පොලිසිය සාධාරණ යැයි කීවාට මේ සතියේ සිද්ධ වෙච්ච සිදුවීම් සියල්ල අන්තිම අසාධාරණ ය. එක පැත්තකින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ උපාධිය කැප කරලා සටන් කරන ශිෂ්‍යයන්ට අන්තිම අමානුෂික, ම්ලේච්ඡ ප‍්‍රහාරයන්දියත් කරති. අනෙක් පැත්තෙන් යම් යම් බලවේගයන්ගේ මැදිහත් වීමෙන් ඥානසාර හාමුදුරුවන්ට ඇප ලබා දෙන්න පොලිසිය එකඟ වෙයි. විනිශ්චයකාරවරයා “ඇයි මෙහෙ ම ඇපවලට විරුද්ධ නොවෙන්නේ…” යැයි ප‍්‍රශ්න අහද්දී පවා නියෝජ්‍ය පොලිස්පතිවරයකු ම මැදිහත් වී විරුද්ධ නොවන බව පවසයි. හරි පැහැදිලිව ම උසාවි ක්‍රියාවලියට දේශපාලන මැදිහත්වීමක් තිබූ බව මුළු රටට ම පෙන්නුම් කළේ ය.

එහෙත්, ඒ මැදිහත් වීම දුප්පත් දෙමව්පියන්ගේ සරසවි දරුවන්ට ලැබෙන්නේ නැත. ඔවුන් සාධාරණත්වය, යුක්තිය ඉල්ලා කොතරම් සටන් කළත්, ඇමතිවරු ඔවුන්ව මායිම් කරන්නේ නැත. අස්ගිරි පාර්ශ්වයෙන් සමාව ගන්නා එස්.බී. සයිටම් එක ලියාපදිංචි කරන්න ගෝඨාභය උදවු කළා යැයි කිසි හිරිකිතයක් නැතිව ප‍්‍රකාශ කරයි.

මෙවන් තත්ත්වයක් තුළ රට පුරා ම හා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයෝ පවා මේ ආණ්ඩුවට එරෙහිව කතා කරති. එය වේගයෙන් වර්ධනය වෙමින් පවතියි. ඇමති මාරුවත් එක්ක අභ්‍යන්තරයට ද එය ගලා ආවේ ය. එනිසා ම මෛත්‍රීගේ වෙන දවසක කියන්නම් කියපු කතාව සරල එකක් නොවේ ය. එය බරපතළ එකක් බව පැහැදිලි ය. බුර බුරා නැගෙන ආණ්ඩු විරෝධයත් එක්ක ශ්‍රී.ල.නි.ප.යේ ඇමතිවරු විස්සකට වැඩි ප‍්‍රමාණයක් කුලප්පු වී ඇති බව ආරංචි ය. ඔවුන් කියන්නේ දැන් ඉක්මනට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න  ඕනෑ බවක් ය. ඔවුන් ගම්වලට ගියා ම පාක්‍ෂිකයන්ගේ පැත්තෙන් එන්නේ එකී යෝජනාව ය. රට ඉස්සරහා මොන මොනවා කීවත්, ගමේ දී තමන් මුහුණ දෙන තත්ත්වය ලැජ්ජාසහගත ය.

යූ.එන්.පී.යේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ද මේ තත්ත්වය ඇත. ඔවුන් ද ඉන්නේ හොඳටෝ ම කලකිරිලා ය. එහෙත්, ඔවුන්ට ඉවත් වීමේ තීරණයක් ගන්නට බැරි ය. ශ්‍රී.ල.නි.ප.යේ අයගේ තත්ත්වය ඊට වෙනස් ය. ඔවුන් ඉන්නේ අනුන්ගේ ආණ්ඩුවක එල්ලිලා ය. ඒ නිසා ම එවැනි තැනකට තල්ලු වීම ස්වාභාවික ය. එක පැත්තකින් එය ආණ්ඩුව ඇතුළේ කේවල් කිරීමට පාවිච්චි කළ හැකි ය. අනෙක් පැත්තෙන් ජනතා විරෝධයෙන් ගැලවීමට පාවිච්චි කළ හැකි ය. කොහොම වුණත් ඇතුළේ දැන් එහෙ ම තත්ත්වයක් වර්ධනය වී අවසන් ය. දෙපාර්ශ්වයේ ගිවිසුම ඇත්තේ, ලබන සැප්තැම්බරය දක්වා පමණි. තීරණයක් ගන්නවා නම්, ඒ වෙන කොට තීරණයක් ගත යුතු ය. එවන් තීරණයක් ගන්නවා ද නැද් ද යන්න කෙසේ වෙතත්, ආණ්ඩුව ඇතුළේ දෙගොල්ලන්ගේ හැප්පිල්ල නම් හොඳට ම වර්ධනය වෙලා ය.

මෛත්‍රී ද ඉන්නේ ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩියක් ගාණට පත් වෙලා ය. මොන සෙල්ලම් දැම්මත්, ගොඩ ගන්න බැරි තත්ත්වයක ඉන්න බව පැහැදිලි ය. ඊ ළඟ ආණ්ඩුපක්‍ෂ රැස්වීමේ දී මෛත්‍රී කියන්න හදපු දේ මොකක් ද කියලා දැනගන්න පුළුවන් ය.

මොකක් වුණත් කියන්න තියෙන්නේ සුභ ආරංචියක් නොවේ ය. එය පැහැදිලිව ම ආණ්ඩුවේ අයට නම්, අසුභ ආරංචියක් ම ය.

ලංකා ඉරිදා සංග්‍රහය

No comments:

Post a Comment