03 June 2017

ඩෙංගු රෝගීන්ගේ ජීවිත අනතුරේ!

ඩෙංගු රෝගය උත්සන්න වු විට රෝගීන්ට ජීවිත ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය ‘ඩෙක්ස්ට්‍රෑන්‘(Dextran) නැමති ඖෂධයේ දැඩි හිඟයක් පවතින බවත් ඒ තුළින් රෝගීන් දැඩි අවදානමකට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ (02) පැවති මාධ්‍ය හමුවක දී එහි සමාජිකයින් මේ බව කියා සිටියේ ය.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඇති මෙම ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වන තොගයක් වන අතර ඒවා රෝගීන්ට නියම කිරීම නොසුදුසු බව වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශ කර ඇති බවත් තායිලන්තයෙන් ගෙන්වන තත්ත්වයෙන් උසස් ඖෂධය රෝගීන්ට සුදුසු බව විශේෂඥ මතය බව ද මෙම සංගමය පවසයි.

මේ වන විට ගංවතුර බැස යමින් පවතින අතර එහිදී ප්‍රධාන සෞඛ්‍ය ගැටළු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුව ඇති බවත් ඩෙංගු රෝගය මේ අතර විශේෂත්වයක් ගෙන ඇති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා කියා සිටියේය.

ඩෙංගු රෝගය අවම කිරීම සඳහා ගත යුතු පියවර ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය උපරිම සහයෝගය කිසිදු කොන්දේසියකින් තොරව ලබා දීමට කටයුතු කරන බවත් රෝගී ජිවිත කිසිවිටෙකත් අනතුරේ හෙළීමෙන් වළකින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් පැවසීය.

පවතින ආපදා තත්ත්වය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන් විත වෛද්‍ය මධ්‍යස්ථානයක් පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන වෛද්‍යවරුන් හරහා තවත් මධ්‍යස්ථාන 200 කට අධික ප්‍රමාණයක් දිවයින පුරා පැවැත් වෙන බවත් ඔහු මෙහිදී කියා සිටියේ ය.

No comments:

Post a Comment