20 June 2017

මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් අද රහස් පොලිසියට පැමිණිල්ලක්

ඉකුත් රජය සමයේ තමන් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධිය පිළිබද නිසි පරීක්ෂණයක් සිදුකිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.

ඒ පෙරවරු 9 ටයි.

පසුගිය රජය සමයේ (2009 වසරේ ජුනි පලමුවනදා) සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් බරපතළ ලෙස පහර දී මාර්ගයක් අයිනේ දමා ගොස් තිබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපිය ඔහු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එය නුගේගොඩ මිරිහාන ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලබාදී තිබුණා.

ඉන්පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පෝද්දල ජයන්ත මහතාට ඊ මේල් මඟින් දන්වා යවා ඇත්තේ තමන් පැහැරගත් වාහනයේ අංකය සහ අනෙකුත් දන්නා තොරතුරු වහාම යොමුකරන ලෙසයි.

ඊට පිළිතුරු ලෙස පෝද්දල ජයන්ත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දන්වා එවා ඇත්තේ පැහැරගත් වාහනයේ අංකය දන්නේ නම් මීට පෙර තම මාධ්‍ය සගයන් ඊට අදාළ සැකකරුවන් සොයා ගනු ඇති බවයි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් සමඟ එම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් මේ සිද්ධියට ද සම්බන්ධදැයි සැකයක් මතුවීම හේතුවෙන් පෝද්දල ජයන්ත මහතා මෙම ලිපිය යොමුකර තිබුණා.

ඒ අනුවයි මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ.

මේ සදහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක්ද අද එක්වනවා.

No comments:

Post a Comment