20 June 2017

උතුරු කොරියාවේ සිරවූ ඇමෙරිකානු තරුණයා මරුට

 උතුරු කොරියාව තුළ මාස 15කට අධික කාලයක් අත්අඩංගුවේ පසුවූ ඇමෙරිකානු සිසුවා යළි සිය නිවෙසට පැමිණ සතියකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔට්ටෝ වෝම්බියර් නමැති 22 හැවිරිදි තරුණයාට උතුරු කොරියානු හෝටලයකින් ප්‍රචාරක සලකුණක් සොරාගත්තේ යැයි පවසා බරපතල වැඩ සහිතව වසර 15ක සිර දඬුවමකට යටත් කර තිබේ.

කෙසේ වෙතත්, මානුෂීය හේතූන් මත යැයි පවසමින් ඔහු පසුගියදා යළි ඇමෙරිකාවට එවීමට කටයුතු කළ අතර, ඒ වනවිට වසරක පමණ කාලයක සිට මෙම තරුණයා කෝමා තත්ත්වයකින් පසුවී ඇත.

ඔහු දරුණු වද බන්ධනයකට ලක්කළ බව උතුරු කොරියාව ප්‍රතික්ෂේප කළද, මෙම තරුණයාගේ පවුලේ ඥාතීන් පවසන්නේ බන්ධනාගාර ගතව සිටියදී මොහුට අතිශය දරුණු වද බන්ධනයන්ට මෙන්ම සැලසුම්වලට යටත්වීමට සිදුව ඇති බවයි.

යළි ඇමෙරිකාවට පැමිණෙන අවස්ථවේදී ඔහුගේ හිසට බරපතල හානියක් සිදුව තිබී ඇති අතර, එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලිතාවක් නොතිබුණි.

සඳුදා සවස 2.20 ට පමණ තම පවුලේ ඥාතීන් ඉදිරියේදී ඔට්ටෝ තරුණයා සිය දෙනෙත් පියාගෙන ඇති අතර, යළි නිවසට පැමිණියද ඔහු කතා කිරීමට නොහැකි තත්ත්වයක පසුවී තිබේ. එමෙන්ම, ඔහුගේ පෙනීමද නොතිබූ බවත්, හඬ සංඥාවලට ප්‍රතිචාර දැක්වීමටද නොහැකිව සිටි බවත් පවුලේ ඥාතීහු පවසති.

2015 දෙසැම්බර් 30 වැනිදා ඔහු සංචාරයක් සඳහා බීජිං සිට ප්යොන්ග්යැන් වෙත පියාසර කර තිබූ අතර, 2016 ජනවාරි 02 වැනිදා ප්යොන්ග්යැන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔහු අත්අඩංගුවට පත්ව තිබුණි.

2016 මාර්තු 16 වැනිදා ඔහුට එරෙහිව පැවති නඩු විභාගයෙන් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක්වූ මෙම තරුණයා ඒ අතරතුර කෝමා තත්ත්වයට පත්ව තිබුණි.

2017 ජූනි මුලදී ඔහුගේ තත්ත්වය පිළිබඳ ඇමෙරිකානු බලධාරීන්ට මෙන්ම ඔහුගේ ඥාතීන්ට උතුරු කොරියාව දන්වා ඇති අතර, පසුගිය 13 වැනිදා මානුෂීය හේතු මත යැයි පවසමින් මෙම තරුණයාට යළි ඇමෙරිකාවට පැමිණීමට අවසරය ලබාදී තිබුණි.

No comments:

Post a Comment