04 July 2017

2016 දී ලොතරැයි පත් මුද්‍රණයේදී සිදුවූ මහා දූෂණයක් ගැන තොරතුරු මෙන්න

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලික අරමුණුවල ඇතුළත් අවශ්‍යතාවන් ඉටුවන පරිදි 2016 වර්ෂය තුළ සිදු කළ ලොතරැයිපත් ගණනාවක මුද්‍රණය හා භාරදීම යන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජාතික ලොතරැයි මණ්‌ඩලය විසින් මෙහෙයවා නොමැති බව රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විශේෂ විගණන පරීක්‍ෂණයකදී අනාවරණය වී ඇත.

මේ අනුව 2016 වර්ෂය තුළ සිදු කළ ගොවිසෙත, වාසනා සම්පත, සුපිරි වාසනා සම්පත, ජාතික සම්පත හා සුපිරි දෙලක්‌ෂපති ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම යන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවා නොමැති බවට රජයේ විගණකාධිපතිවරයා නිගමනය කර ඇත.

මේ නිගමනය ඇතුළත් 2016 වර්ෂය තුළදී ජාතික ලොතරැයි මණ්‌ඩලයට පරිගණකාශ්‍රිත දිනුම් ඇදීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව මේ වන විට රජයේ විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.

අදාළ විමර්ශනය සිදු කරන ලෙස කෝප් කමිටුව විසින් රජයේ විගණකාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම විශේෂ විගණනය සිදු කර අදාළ වාර්තාව රජයේ විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුවට භාරදී ඇත.

ලොතරැයිපත් මුද්‍රණය කිරීම හා එහි තත්ත්ව පරීක්‍ෂාවන් පිළිබඳ මුද්‍රණකරුවන්ට වගකීම් භාරදීමෙන් පමණක්‌ ඉටුකිරීමට යොමු වීමෙන් ලොතරැයිපත්වල තිබිය යුතු ගුණාත්මකභාවය හා මුද්‍රණයේ දොaෂ සහිත ලොතරැයිපත් විනාශ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක්‌ යොමු කිරීමට මණ්‌ඩලය කටයුතු කර නැති බවට ද රජයේ විගණකාධිපතිවරයා නිගමනය කර ඇති බව එම වාර්තාවේ දැක්‌වේ.

එසේම ජාතික ලොතරැයි මණ්‌ඩලයේ ප්‍රතිරූපයට හානිවන සිදුවීම් වෙනුවෙන් විධිමත් පරීක්‍ෂණ කඩිනමින් පවත්වා අදාළ නිගමනවලට පැමිණ නොමැති බවද මුද්‍රණකරුවන් විසින් උප කොන්ත්‍රාත් ලබාදීම හා සිදුකරනු ලබන ගිවිසුම් කඩකිරීම සම්බන්ධයෙන් අප්‍රමාදව නීතිමය කටයුතු සිදුකර නොමැති බව සහ මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති සතු බලතල, සම්පත් හා කාලය යන විෂය සීමා තුළ සිදුකරන ලද හෙයින් එහි විෂයපථයෙන් ඔබ්බට ගොස්‌ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්‌ටමේ නීතිවිරෝධී හෝ සාපරාධී කටයුතු සිදුවී ඇත්ද යන්න විගණකාධිපතිගේ පරීක්‍ෂාවට ලක්‌ නොකෙරුණු බැවින් එවැනි පරීක්‍ෂාවක්‌ කළ යුතු යෑයි හැඟී යන්නේනම් ඒ සඳහා විශේෂිත වූ ආයතනයන්හි සහාය ලබා ගැනීම සුදුසු බව ද විගණකාධිපතිවරයා විසින් තවදුරටත් නිගමනය කර ඒ බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවට සිය වාර්තාව මගින් දක්‌වා ඇත.

ape rata

No comments:

Post a Comment