04 July 2017

ආයෝජන පරිසරය වර්ධනයට සකසූ සැලැස්ම එළිදකී

දෙස් විදෙස් නව ආයෝජන සහිතව ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය වර්ධනය කිරීම සඳහා වූ සැලැස්ම. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සවස කොළඹ අරලියගහ මන්දිරයේදී එළිදැක්විණි.

ව්‍යාපාර පවත්වාගෙන යෑමට පහසුකම් හා සේවා සපයන රටවල් වර්ගීකරණයකොට ලෝක බැංකුව විසින් සකස් කැරෙන ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේත් ශ්‍රී ලංකාවට ඉදිරියට ඒමට ක්‍රියා කරන ආකාරය මේ මාර්ග සිතියමින් එළිදැක්විණි.

දැනට ශ්‍රී ලංකාව මේ දර්ශකයේ 110 ස්ථානයේ පසුවේ. වසර 2020දී මේ දර්ශකයෙන් 70 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළයුතු ආකාරය මෙහිදී එළිදැක්විණි.

උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය, ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියාවේ රජය එකට එක්ව මේ වාර්තාව සකස්කොට තිබේ. මෙම වාර්තාව එළිදැක්වීමේ උත්සවයට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, වසර 1977දී ශ්‍රී ලංකාවට පසුපසින් සිටි ආසියානු කලාපයේ රටවල් රැසක් අද වනවිට අප රට පසුකොට ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණ ඇතැයි කීය.

අප ඉතා ප්‍රබල රටවල් සමඟ එදා එක මට්ටමේ සිටි බව කී අගමැතිවරයා, අද වනවිට අප පසුබෑමට හේතුවූයේ තරඟකාරීත්වය ජය ගන්නට නිසි අයුරින් ක්‍රියා නොකළ නිසා බව ද කී අගමැතිවරයා, එම තත්ත්වයෙන් මිදී අභියෝග ජයගෙන පෙරට ඒමට සැලසුම් සකස්කොට ඇතැයි ද කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා වත්මන් ජාතික රජයේ ප්‍රතිපත්තිය අපනයන අභිමුඛ ආර්ථික, වෙළෙඳ පරිසරයක් රටේ බිහි කිරීම බව කී අගමැතිවරයා, ඊට අතදෙන ලෝක බැංකුව, ඕස්ට්‍රේලියානු රජයට ස්තුතිය පළකරන බව ද කීය.

මේ උත්සව අවස්ථාවේදී උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ඉඩ්හා – එසෙඩ් – ෆ්රායි මහත්මිය, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ටිම් ගුජින්ස්, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ යන මහත්වරු කථා කළහ.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය අංශවල ඉහළ නිලධාරීහු කිහිපදෙනකු සහභාගිවී සිටියහ.

ශ්‍රී ලංකාව ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයෙන් ඉදිරියට එන මග කියන මාර්ග සිතියම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කොළඹ අරලියගහ මන්දිරයේදී එළිදැක්විණි.

No comments:

Post a Comment