04 July 2017

බෑනාගේ සමාගමට අධික ලාභ ලැබෙන සේ අර්ජුන් තීන්දු තීරණ වෙනස් කළා

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා වුවද ඔහු වෙන්දේසියක් පැවැත්වෙන අවස්ථාවේ එහි පැමිණ තම බෑනාගේ සමාගමට අදහාගත නොහැකි අධික ලාභ ලැබෙන සේ එහි තීන්දු තීරණ වෙනස් කරවීම කිසිසේත්ම සාධාරණ සිද්ධියක් නොවන බවද එය එදින සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය පුරා ළැව්ගින්නක් සේ පැතිර ගිය අතිමහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවයි අර්ජුන් මහේන්ද්‍රන් පාර්ශ්වයේ නීතිඥවරයාට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේ‍යෂ්ඨ අතිරේක අධ්‍යක්ෂිකා ස්ටෙෆානි ප්‍රනාන්දු ඊයේ (3) බැඳුම්කර කොමිසම හමුවේ කියා සිටියා.

එක්වරක් නොව එම ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සිදුවූ 2015 පෙබරවාරි 27දා උදේවරුවේ දෙවරක්ම අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිවරයා වෙන්දේසිය මෙහෙයවූ රාජ්‍ය ණය දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණි බවද ඇය වැඩිදුරටත් අර්ජුන් පාර්ශ්වයේ ජේ‍යෂ්ඨ නීතිඥ ජනාධිපති නීතිඥ චානක ද සිල්වා පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ.

ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මියගේ මෙහෙයවීමෙන් සාක්ෂි දෙමින් ස්ටෙෆානි ප්‍රනාන්දු මහත්මිය කොමිසම හමුවේ සැලකරන ලද කරුණු නිශේධනය කිරීම සඳහා ජනාධිපති නීතිඥවරයා ඇයගෙන් දිගින් දිගටම හරස් ප්‍රශ්න නඟද්දී ඇය එලෙස තම ප්‍රකාශ තවදුරටත් තහවුරු කරමින් පිළිතුරු ලබා දුන්නා.

කොමිසම එහි සභාපති ජේ‍යෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා සෙසු කොමසාරිස්වරුන් වන ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලුපිල්ලේ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස් වුනේ.

දෙවැනි දිනටත් කොමිසමේ කැඳවීම පරිදි කොමිසම හමුවේ පෙනී සිටි ස්ටෙෆානි ප්‍රනාන්දු අර්ජුන් මහේන්ද්‍රන් පාර්ශ්වයේ නීතිඥවරයාට පිළිතුරු දෙමින් මෙසේද කියා සිටියාය.

සාක්ෂිකාරිය - අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දෙවැනි වරටත් වෙන්දේසිය මෙහෙය වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි බව මා ඉතා පැහැදිලිවම දුටුවා. දෙවැනි වර ඔහු පැමිණියේ මධ්‍යාහ්න 12ට ආසන්නව තිබියදීය.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිවරයා එහි පැමිණ සිටින බව සියැසින්ම දුටු බවද ඔබ ප්‍රකාශ කරන්නේ?

පි. - ඔව්. ස්වාමීනි. මා සියැසින්ම දුටුවා.
ප්‍ර. - ඔහු තනිවමද පැමිණ සිටියේ?
පි. - නැහැ. ස්වාමීනි දෙවැනි වර ඔහු පැමිණ සිටියේ තනිවම නොවේ.
ප්‍ර. - එසේ නම් කා සමඟද?
පි. - නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය වීරසිංහ හා ආනන්ද සිල්වා මහත්වරුන් සමඟයි.
ප්‍ර. - ඊට අමතරවත් තවත් නිලධාරීන් එහි සිටියාද?
පි. - ඔව් ස්වාමීනි. ආචාර්ය ආසිම් මහතාත් සෙනවිරත්න මහත්මියත් මගේ අංශ ප්‍රධානී ශ්‍රී මාලි ප්‍රනාන්දු මහත්මියත් සිටියා.
ප්‍ර. - මුතුගල මහත්මියත් සිටියද?
පි. - ඇයද සිටියා වගේ මතකයි. හරියටම මතක නැහැ.
ප්‍ර. - ඔවුන් එතැනට වී මොනවද කළේ?
පි. - ඔවුන් වට කරගෙන මහේන්ද්‍රන් මහතා යමක් පැහැදිලි කළා.
ප්‍ර. - කොපමණ කාලයක් ඔවුන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ රැඳී සිටියද?
පි. - මිනිත්තු 5ක් 10ක් තරම් කාලයක් සිටියා. ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්.

No comments:

Post a Comment