04 July 2017

වයග්‍රා නැත්නම් වැඩේ හබක්ද?

පිරිමින්ට තියෙන ලොකුම ගැටලුවට හොඳම විසඳුම හැටියට මෑත කාලයේ සොයා ගැනුණු වයග්‍රා පෙත්ත ගැන සඳහන් කළ හැකියි. නමුත් වයග්‍රා පෙත්ත මගිනුත් අප්‍රාණිකත්වය නැතිකරන්න පුළුවන් සියයට 80ක් වගේ ප්‍රතිශතයකගේ පමණයි. එහෙමනම් ඉතිරි සියයට 20ට මොකද වෙන්නේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ කියන්නේ ඒ අයටත් ප්‍රතිකාර ඇති බවයි. මෙන්න ඒ ප්‍රතිකාර ගැන ඔහුගේ වාර්තාව.

මම මුලින් කිව්වානේ වයග්‍රා එන්න ඉස්සර අප්‍රාණිකත්වයෙන් පෙළුණ අය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුණේ බොහෝම අඩුවෙන් කියලා. ඇත්තටම අප්‍රාණිකත්වයට මුහුණ පෑ අයගෙන් සියයට 5ක් විතර අඩු ප්‍රතිශතයක් තමා එහෙම නිසියාකාර වෛද්‍ය උපදෙස් සොයා ආවේ. අනෙක් අය කළේ යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්. තෙල් බේත් සාත්තු සොයායාම. ඈත කාලයේ ඉඳන්ම මේක දැවෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙන අය මේ ගැන කතාකර පසුතැවෙමින් උන්නා. මේ නිසා මේ ගැන විසඳුමක් දෙනවාය කියන එක හොඳ ජාවාරමක් වුණා. ඒ කාලේ පත්තර පිටු පුරා මේ ලෙඩේට බේත්හේත් දෙන නොයෙකුත් උපක්‍රම හඳුන්වාදෙන දොස්තරලා වැහිවැහැලා. වයග්‍රා එන්න පෙර තිබූ තත්ත්වයටම නැතත් අදත් ඒ සිල්ලර වෙදකම් නැතිවාම නොවේ. ඉතින් ඔන්න වයග්‍රා ආවා. සියයට 80කටම ප්‍රතිඵල දෙන විශ්මිත පෙත්ත! මේ නිසා අප්‍රාණිකත්වය ගැන කතාබහ වැඩි වුණා. පෙත්ත සොයා එන අය වැඩිවුණා. නමුත් සියයට 20කට විතර පෙත්ත හරි ගියේ නෑ. එහෙනම් ඒ අයට මොකද කරන්නේ.

පෙත්ත වැඩ නොකරන අයට තාමත් වයග්‍රා පෙත්ත එන්න ඉස්සර බහුලව භාවිතා කරපු සාර්ථක ක්‍රම යොදාගන්න පුළුවන්. ඒ කාලේ භාවිතා කළ ශාකසාර ඖෂධ දෙකක් තියෙනවා. ඒවා දැනටත් සාර්ථකයි. එකක් තමා අප්‍රිකාවේ යොහිම්බි (Yohimbine) ශාඛයෙන් ලබාගත් සාරය මගින් නිපදනවන ඖෂධය. ඒ මගින් මොළයේ ලිංගිකත්වයට නැඹුරු ප්‍රදේශ උත්තේජනය කරලා ආශාව වර්ධනය කර ප්‍රාණවත් බව ලබාදෙන බව සොයාගෙන තියෙනවා.

අනෙක් ඖෂධය චීනයේ පාරම්පරිකව භාවිතා කළ රතු ජීන්සෙන් (Red Ginseng) ඒකත් ප්‍රාණවත් බව සහ ආශාව වර්ධනය කරන්නට සමත්. නමුත් මේවාත් ලබාගන්න ඕනෑ වෛද්‍ය උපදෙස් මත මොකද අනුකරණ සහ ව්‍යාජ බෙහෙත් ඕනෑ තරම්.

ඊළඟට ප්‍රාණවත් බව වර්ධනය කරන සහ එය රඳවා ගන්නා උපකරණ මෙන්ම ශල්‍යකර්මත් දක්වන්න පුළුවන්.

උපත් පාලන කොපුවත් ප්‍රාණවත් බව රදවන එක්තරා උපකරණයක්. හැබැයි මේක මූලික හැකියාව ඇති අයට හරියන උපකරණයක්. ප්‍රාණවත් වූ පසු ධමනි මගින් ගලා එන රුධිරය නැවත ගමන් ගැනීම අවහිර කරන රබර් පටියක් මෙහි කෙළවර තියෙනවා. මේ නිසා ප්‍රාණවත්ව ඉන්න කාලය වැඩියි. නමුත් විනාඩි 30කට එහා මෙය පැළඳ ඉන්න හොඳ නෑ. මොකද අවයවයේ සියුම් පේශි වලට හානිදායක වන නිසා. ඒ වගේම ඉතින් මේ කොපුවේ ප්‍රධාන අරමුණ උපත් පාලනය සහ ලිංගික රෝග වලින් වැලකීම බව අමතක කරන්න හොඳ නෑ.

ඊළඟට තියෙනවා වැක්‍යුම් පොම්පය. මේක 1917 තරම් ඈත හඳුන්වා දුන්න නමුත් 1980දී පමණ වෙළඳපොළට ආ උපකරණයක්. භාවිතය මඳක් අපහසු මේ උපකරණය හදුන්වන්නේ පීනයිල් පම්ප් (Penile Pump) කියලා. හැබැයි වැඩේ අමාරැ වුණාට සියයට 90ක්ම ප්‍රතිඵල සහිතයි.

ඊළඟට ලිංගය දැඩි කරන තැන්පතු සැත්කම් මගින් ඇතුළු කිරීමත් විසඳුමක්. මේ විදිහට තැන්පත් කරන එක් ද්‍රව්‍යයක් වන්නේ දිග ඇදෙන සුළු, නැවෙන සුළු ගතියෙන් යුතු සිලිකන් කූරු. හැබැයි මේ කූරු තැන්පත් කළ පසු ලිංගය සෑම විටම තිබෙන්නේ සූදානම් ශරීරයෙනුයි.

දෙවැනි තැන්පතුව හැඳින්වෙන්නේ හයිඩ්‍රොලික් තැන්පතුව හැටියටයි. මෙහිදි කරන්නේ සේලයින් දියර මගින් පිරීයන ඉතා සියුම් ටියුබ් දෙකක් තැන්පත් කිරීමයි. ලිංගය තුළ ටියුබ් දෙකක් ඒ තුළට සේලයින් පොම්ප කරන කුඩා උපරණයක් වෘෂණ කෝෂ තුළත් අවශ්‍ය සේලයින් දියර බෑගය උදරය තුළත් තැන්පත් කරනවා. වෘෂණ කෝෂය තුළ ඇති පොම්පය මිරිකූ විට ප්‍රාණවත් භාවයක් හා වැල්වය වැසූ විට සාමාන්‍ය මට්ටමට පත්වීමක් සිදුවෙනවා. ඒ වගේම මෙය ඉතා මිල අධික සැත්කමක්. වයග්‍රා වලටත් ප්‍රතිඵල නැති ස්ථිර අප්‍රාණිකත්වයෙන් පෙලෙන අයට පමණයි මෙය වඩාත් සුදුසු.

හැත්තෑ ගණන්වල තවත් සැත්කමක් වන්නේ ලිංගය තුළ ඇති රුධිර වාහිනි ආශ්‍රිත බාධක සිරවීම් අයින් කරන සැත්කම. ඊළඟට 80 දශකයේ ජනප්‍රිය වූ සියයට 94ක් පමණ සාර්ථක වෙච්ච ප්‍රතිකාරයක් ලෙස නික්ෂේපණ විද ගැනීම හඳුන්වන්න පුළුවන්. වයග්‍රාවලට පෙර වැඩිපුරම භාවිතා වූයේ මෙයයි. නික්ෂේපණය ස්ප්‍රේකර විනාඩි කිහිපයක් ඇතුළම ප්‍රතිඵල ලැබෙන බව වාර්තාගතයි.

ඊළඟට වයග්‍රා සමඟ ආපු තවත් ඖෂධ්‍යක් තියෙනවා. ඒකත් සිහින් දිග පෙත්තක්. ඒවා මුත්‍රා මාර්ගයට ඇතුළු කරගත් පසු විනාඩි කිහිපයකින් සාර්ථකත්වය ලැබෙනවා. මේ සියලු ප්‍රතිකාර ඖෂධ ලබාගතයුත්තේ වෛද්‍ය උපදේශ මත බව හොඳට මතක තබාගත යුතුයි. නැතිනම් ඉතින් මොන මොන හෙයියම්මාරැ වලට මුහුණ දෙන්න වෙයිද කවුද දන්නේ!

No comments:

Post a Comment