06 June 2017

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක නොකිරීමට බාධාව ජනපතිද ?

ජායාරූපය: ජනාධිපති සිරිසේනට මේ මව්වරුන්ගේ දුක නොදැනේනනේ මන්ද? අතුරුදහන්වු සිය දරුවන් ගැන තැවෙන මවගේ  ජයාරෑපය විකල්ප අනුග්‍රහයෙනි.

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව සහ නිදහසේ වේදිකාව විසිනි.

2015 සැප්තැම්බරයේ, ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී ශ්‍රි ලංකාව එකඟවූ සංහිඳියා වැඩ පිළිවෙලේ එක් අංගයක් වූ “අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය” පනත 2016 අගෝස්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඒකාබද්ධ විපක්ෂ නඩයේ බලවත් විරෝධතාව මධ්‍යයේ ඒකමතිකව සම්මත කර ගැනීමට යහපාලන ආණ්ඩුවට ධෛර්යය සහ ශක්තිය තිබුණි. ඒ පිළිබඳව යහපාලන රජයට අපගේ ගෞරවය හා අවංක ස්තූතිය පුද කරමු. නමුත් පනත 2016 අගෝස්තු 23 වන දින සම්මත වී මාස 08 ක් පමණ ගතවී තිබියදීත්, එය ක්‍රියාත්මක නොවන්නේ ජනාධිපති මහතා විසින් පනතේ බලතල කිසියම් අමාත්‍යවරයකුට මෙතෙක් නොපැවරීම නිසාමය.

ජනාධිපති මහතා මෑතකදී ප්‍රකාශ කර තිබුනේ මෙම ප්‍රමාදයට හේතුව, තවත් අවශ්‍ය සංශෝධනයක් එම පනතට ගෙන ඒමට ඇති අවශ්‍යතාවය නිසා බවත්, එම සංශෝධනය ඉක්මනින් ඉදිරිපත් කර, සම්මත කර, එම කාර්යාලය ක්‍රියාත්මක කිරීම ඉක්මන් කිරීමට, අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් බවත්ය.

මෙම සංශෝධන ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණෙනි. එයට දැන් අමාත්‍ය මණ්ඩලයේදී එකඟතාව පළවී පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පමණක් ඉතිරිව ඇත.

මෙම පනතට අනුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමට සිදුවන ප්‍රමාදය මෙම සංශෝධනය සම්මත නොවීම නිසා බවට කෙරෙන ප්‍රකාශ අපි තරයේ ප්‍රතික්‍ෂේප කරමු. ඔහු පවා මෙම මතය ප්‍රතික්‍ෂේප කර ඇත. පාර්ලිමේන්තුවේ පනතක් සම්මතවූ පසු ඕනෑම අවස්ථාවකදී සංශෝධන ගෙන ඒමට හැකිය. සංශෝධනයන් ගෙන එනවායැයි කියමින් පනත ක්‍රියාත්මක කරවීම ප්‍රමාද කිරීම කිසිසේත් සාධාරණ හෝ යුක්ති සහගත නොවේ. තවද පනත ක්‍රියාත්මක කරවීමට මෙම සංශෝධනය ඉතාමත් අත්‍යාවශ්‍ය නම් කාලය නොගෙන අමාත්‍ය මණ්ඩලයේදී එකඟතාවය පල වූ මෙම සංශෝධනය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර, පනතේ බලතල ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් අප දකින්නේ නැහැ.

මෙම තර්කය, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම කල්දැමීම සදහා කෙරෙන උප්පරවැට්ටියක් මිස වෙන කිසිවක් නම් නොවේ.

තවද පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනතක්, ක්‍රියාත්මක කිරීම ජනාධිපති නිසා ප්‍රමාද වෙන්නේ නම්, එසේ කිරීමට ජනාධිපතිට කිසිදු නීත්‍යානූකූල හෝ සදාචාරාත්මක බලයක් නැත. එය විධායක බලය අවභාවිතයකි. මෙය පාර්ලිමේන්තු බලය අභිබවා යෑමකි. ජනවාරි 08 පොරොන්දු වලට පටහැනිය. ජනාධිපති ධුරයේ විධායක බලතල, 19 වන සංශෝධනය හරහා කප්පාදු කිරීමට අවංකව ක්‍රියා කළ වර්තමාන ජනාධිපතිගෙන් මෙවැන්නක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක.

මෙම ප්‍රමාදය එක්කෝ ජාතිවාදීන්ට ඇති බිය නිසා සිදුවන්නකි. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතිවාදී නඩය මෙම පනතට විරුද්ධව දැනටමත් යුද්ධ ප්‍රකාශයට පත්කර ඇත. මහින්දගේ ජාතිවාදයට විරුද්ධව, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඉදිරිපත්වූ බහුතරය තවමත් ජනාධිපති මහතා සමඟ බව ජනාධිපති මහතා අමතක නොකල යුතුව ඇත.

අනික් පැත්තෙන් මේ ප්‍රමාදය සිදුවන්නේ හමුදාව පැත්තෙන් මතුවන බලපෑම් මත නම් හමුදාවේ හොඳ නම රැකිය හැක්කේ වෙන කිසිම ක්‍රමයකින් නොව සිදුවූ සිදුවීම් පිළිබඳ සත්‍යය හෙළිකර නීති විරෝධීව හා තම ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඝාතන, අතුරුදහන් කරවීම් සිදුකළ අතලොස්ස හෙළිදරව්කර නැවත මෙවැනි දේ සිදුවීමට ඇති ඉඩ ඇහිරීමෙනි.

කුමන අඩුපාඩු හෝ විවේචන මෙම පනතට විරුද්ධව එල්ල වුවත්, 88 – 89 භීෂණයට ගොදුරුවූවන් වේවා, යුද සමයේදී සහ යුද්ධය අවසන් වූ පසු විවිධාකාරයෙන් අතුරුදහන් කළ අය වේවා, රජයේ ඉල්ලීම පරිදි යටත්වූවන්, තවමත් අවශ්‍ය අවධානය යොමු නොවන උතුරු – නැගෙනහිර මාධ්‍යවේදීන් වැනි අතුරුදහන්වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සත්‍යය ( යුක්තිය නොවේ ) දැනගැනීමට දැනට යෝජිත එකම යාන්ත්‍රණය මෙය වේ. එයද සම්මත වී ක්‍රියාත්මක වීම මෙසේ ප්‍රමාද කරන්නේ නම්, රජයේ සංහිඳියා වැඩ පිළිවෙල පිළිබඳ කුමන කථාද? සන්නද්ධ හමුදාවල අතුරුදහන්වීම් සෙවීමට ඇති එකම කාර්යංශයත් මෙය පමණක් බව, ජනපති අමතක නොකළ යුතුය.

ජනාධිපති මහතාට අනූව පණත ක්‍රියාත්මක කිරිමට අත්‍යාවශ්‍යයයි ප්‍රකාශ කළ සංශෝධනය ජූනි මස 07 වන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත බව දැන ගැනීමට ලැබී තිබේ. එම සංශෝධනය සම්මත වූ පසුව එම බලතල අමාත්‍යවරයෙකුට පවරා පනත ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් තිබිය නොහැකිය. ඒ සඳහා ජනාධිපති මහතා කොපමණ කල් ගන්නේදැයි අපි බලා සිටින්නෙමු.

ජනපතිට නැසෙන උතුරේ හඩ. ජයාරෑපය @shalin

ජනාධිපති මහතාණෙනි,

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ යතුර දැන් ඔබ අතේය. ප්‍රමාදය සදහා ඇඟිල්ල දිගු වන්නේ ඔබට මිස වෙන කිසිවකුට නොවේ.

මහින්ද රාජපක්ෂ පරදවා මහත් බලාපොරොත්තු සහිතව ජනවාරි 08 අප පත්කල ජනාධිපති ලෙස සහ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ඔබ අභීතව ක්‍රියාත්ම කල බොහෝ දේ පිලිබඳව අපගේ අවංක ස්තූතිය පුදකරන අතර මෙම කාරණයේදීද, තවමත් ඔබ බහුතරයේ බලාපොරොත්තුව වන මෛත්‍රී බව ඔප්පු කරන්න.
“අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත” කල් නොයවා ක්‍රියාත්මක කරන්න.



No comments:

Post a Comment