06 June 2017

නම ගහල කෙසෙල් බෙදුවෙ නෑ – ගයන්ත CID යයි

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ඡායාරූපය සහිතව ආපදා සහන වැකි යොදා ඇති ලේබලයක් සහිත කෙසෙල් ගෙඩි හතරකින් යුතු පාර්සලයක ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම පිළිබඳව රහස් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

රහස් පොලීසිය මගින් අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (05දා) රහස් පොලීසියට සිදුකරන ලද ලිඛිත පැමිණිල්ලකින් පසුවය.

සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ කෙසෙල්ගෙඩි බෙදීමේ කටයුත්තක් තමා සිදු නොකළ බවත්, එය තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් සංවිධානාත්මකව සිදුකළ ක්‍රියාවක් බවත් අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් තමා රහස් පොලීසියට ලිඛිතව පැමිණිල්ලක් කළ බවද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 'අද' ට පැවසීය.

මෙම ව්‍යාජ ලේබලය හා පාර්සලය නිසා තමාගේ කීර්තිනාමයට විශාල හානියක් සිදුව ඇති බවත් මේ නිසා මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණ පවත්වා වරදකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අමාත්‍යවරයා රහස් පොලීසියට ලිඛිතව පැමිණිලි කර තිබේ. එමෙන්ම මේ පිළිබඳව සොයා බලන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන්ද ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම තමා මේ දිනවල ගාල්ලේ  ආපදාවට පත්වූ ප්‍රදේශයන්හි ආධාර බෙදීමට කටයුතු කළ අතර, රුපියල් 1500 වඩා වැඩි සහනාධාර පාර්සලයක් ලබාදීමට කටයුතු කළ බවද කෙසෙල් ගෙඩි පෙන්නා ගාල්ලේ ජනතාවගෙන් ඡන්දය ලබාගත නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment