27 April 2017

විදුහල්පති පහරදීමෙන් 11 හැවිරිදි මොහොමඩ් මරුදකී

 මැලේසියාවේ පෞද්ගලික ආගමික විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 11ක මොහොමඩ් ගඩාෆි නමැති පිරිමි දරුවෙකු පාසලේ ප්‍රධාන ආචාර්යවරයාගේ දරුණු පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ආගමික පාසලේ ඉගෙනුම ලැබූ මොහොමඩ් තඛීෆ් අමින් මොහ්ඩ් ගඩාෆි නමැති දරුවාට දිගින් දිගටම සිදුකර තිබූ දරුණු පහරදීමෙන් පසුව එම දරුවා රෝහල් ගත කර ඇති අතර, පසුව දරුවා බේරාගැනීම සඳහා ඔහුගේ දෙපා කපා ඉවත්කිරීමට සිදුවී තිබේ.

තෆීස් නමැති මෙම පෞද්ගලික ආගමික පාසලේදී මෙම දරුවා කිහිප අවස්ථාවකදීම මෙම ප්‍රධාන ආචාර්යවරයාගේ මරාන්තික පහර කෑමට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම දරුවාගේ මව පවසන්නේ ප්‍රධාන ආචාර්යවරයාගේ දඬුවම් තවදුරටත් ඉවසිය නොහැකි බවත්, හැකි ඉක්මණින් තමාව ඉන් ඉවත් කරගන්නා ලෙසත් ඔහු තමන් සමග පැවසූ බවයි.

අවසන් වරට පසුගිය මස 31 වැනිදා තමා දරුවා බැලීමට ගිය අවස්ථාවේදී ඔහු ඉතා දුර්වල හා දැඩි කල කිරීමකින් පසුවූ නිසා, දරුවා හැකි ඉක්මණින් පාසලෙන් ඉවත්කර ගැනීමට අදහස් කරගෙන සිටි බවද මව කියයි.

කෙසේ වෙතත්, මෙම දරුවාට එම පාසලේ ප්‍රධාන ආචාර්යවරයා සිදුකළ දරුණු පහරදීම නිසා ඔහුගේ පාදවල ලේ කැටි ගැසීම් රැසක් පැවති බව වෛද්‍යවරු පවසා තිබේ. ඒ අනුව, හදිසි ශල්‍යකර්මයකින් දරුවාගේ කකුල් කපා ඉවත් කරමින් ඔහු බේරාගැනීමට වෛද්‍යවරු තීරණය කළත්, ශල්‍යකර්මයෙන් පසුව කෝමා තත්ත්වයට පත්වූ දරුවා පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.  

No comments:

Post a Comment