27 April 2017

අපි දැන් ‘කොන්ද කෙළින් කර ගන්නයි’ හදන්නේ – රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක



හිටපු යුදහමුදාපති සහ වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව එම ඇමතිධූරයෙන් ඉවත්කොට රජයට එරෙහිව දිගින් දිගටම දියත්වෙමින් තිබෙන අරගල සහ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ මර්දනය සඳහා පාවිච්චි කිරීමට යෝජනා වී ඇති අතර ඊට මේ වන විට විවිධ පාර්ශවවලින් රජයට චෝදනා එල්ලවෙමින් තිබේ.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයට රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබාදුන් පිළිතුර රජයේ ප්‍රතිරූපයට කෙතරම් විවේචනාත්මකව බලපා ඇත්දැයි සැලකිය යුතුය. එයින් ගම්‍යවන්නේ රජයට යහපත් ප්‍රතිරූපයක් නොවන බව වත්මන් රජය බලයට ගෙන ඒමට උරදුන් බහුතරයක් පවසති. එම නිසා මීට අදාළ ප්‍රවෘත්තිය සහ සංවාදය අප මෙලෙස සංස්කරණයකින් තොරව පළකර සිටිමු.

ඇමැති ධුරයෙන් ඉවත්වී වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගෙන කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැති සරත් ෆොන්සේකා මහතාට යෝජනා කර තිබේ.

රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කරමින් විනය ගොඩ නැගීමට පියවර ගැනීම සඳහා මෙවැනි යෝජනාවක් කළ බව ජනාධිපතිවරයා කියා සිටි අවස්ථාවේ එයට පිළිතුරු දුන් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර ඇත්තේ නිසි බලතල සහිතව එම තනතුරු පිරිනමන්නේ නම් එය භාර ගැනීමට කැමැති බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව අනාවරණය කරන ලදී.

කෙසේ වුවද ,ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා යටතේවිශේෂ බළකායක් ස්ථාපිත කිරී‍මට යෝජිත බවත්, එය වර්ජන සහ උද්ඝෝෂණ මැඩලීමට තනි පුද්ගලයකුට බලය පැවරීමක් නොවන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

රට තුළ දිගින් දිගට ම සිදුවන උද‍්ඝෝෂණ හා වර්ජන රාජපක්ෂ කල්ලි‍ය මෙහෙයවන්නක් බවත්, ලබන අගෝස්තු මාසය පමණ වනවිට එම කල්ලියේ සියලු හොරමැරකම්, දූෂණ වංචා හෙළිදරව් වෙතැයි බියෙන් මෙසේ ජනතාව නොමඟ යවමින් ‍විවිධ උද්ඝෝෂණ පවත්වමින් ජනතාව නොමඟ යවන බවත් ඇමැතිවරයා පවසයි.

සෑම දිනකම පාහේ මෙසේ උද්ඝෝෂණ පවත්වමින් ජනජීවිතය අවුල් කිරීමෙන් යහපාලනයට බාධා පැමිණවීම නිසා රටට ආයෝජකයන්, සංචාරකයන් පැමිණීම අඩුවීමෙන් පාඩු අත්වන්නේ රටට හා ජනතාවට ම බවද ‍ඒ මහතා පෙන්වා දෙයි.

වෘත්තීය සමිතිවල කුඩා කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන මෙවැනි විරෝධතා මඟින් රටේ කටයුතු මෙන්ම ජනජීවිතය අඩපණ නොවීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට සුවිශේෂී බළකායක් ස්ථාපිත කර තිබීම වැදගත් බවට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවූ බවද ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

රටේ විනයක් ඇතිකිරීම සඳහා ස්ථාපිත කෙරෙන මෙම බළකායේ නායකත්වය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇමැති මණ්ඩලයේදී සාකච්ඡා කළ බවත්, එහිදී ඇමැති මණ්ඩලය ඒ සඳහා කැමැත්ත පළ කළ බවත්,මේ සම්බන්ධයෙන් ඇමැති සරත් ‍ෆොන්සේකා මහතා සමඟ සාකච්ඡා කර ඉතා ඉක්මනින් එම බළකාය ස්ථාපිත කරන බවත්,ඒ මහතා සඳහන් කරයි.

පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදියා- සරත් ෆොන්සේකා මහතාගේ බළකායත්, ඒ කාලයේ ගෝඨාභය රාජපක්ෂගේ භූමිකාව වගේද?

ඇමැති රාජිත සේනාරත්න මහතා– නැහැ, කිසිසේත්ම නැහැ. මෙය ජනාධිපතිතුමා දැනුවත්ව, කැබිනට් මණ්ඩලය දැනුවත්ව රටේ ජනතාව දැනුවත් වෙලයි සිදුවන්නේ. ඒ කාලයේ හිටපු ජනාධිපති ගෝඨාභයට බයයි. ඔහු එනවා කිව්වත් වෙව්ලනවා.

මාධ්‍යවේදියා- සරත් ෆොන්සේකා මහතාට උද්ඝෝෂණ, වර්ජන මර්දනය කරන්න පුළුවන් ද?

ඇමැති රාජිත සේනාරත්න මහතා– ඔහු ත්‍රිවිධ හමුදාව පාලනය කළ, ෆීල්ඩ් මාර්ෂල් තනතුරෙන් පිදුම් ලද විනය ගරුක පුද්ගලයෙක්. ර‍ටේ විනයක් ස්ථාපිත කරන්න ඒ වගේ පුද්ගලයකුගේ මෙහෙය සුදුසුයි. වර්ජන උද්ඝෝෂණ පමණක් නොවෙයි හිටපු රජයේ ‘හොරු’ අල්ලන පරීක්ෂණත් නිසි අයුරින් ඉක්මනින් සිදුකරන්නත් සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ මෙහෙවර ඉවහල් වේවි. මොකද ගෝඨාභයගෙන් වැඩියෙන් ම බැට කෑ පුද්ගලයකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නම් කරන්න පුළුවන්. ඒ මහතා දරන ඇමැති ධු‍රයෙන් ඉවත්වී වසර දෙකක කාලයක් මේ බළකාය මෙහෙයවන්න ඔහු කැමති වෙතැයි විශ්වාස කරනවා.

ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළා. නිසි බලතල ඇතිව දෙන්නේ නම් එය බාර ගැනීමට ඔහු අකමැත්තක් පළ කළේ නැහැ.

මාධ්‍යවේදියා- වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කරන්නට රජය අපොහොසත් නිසා ද මෙවැනි බළකායක් ගේන්නේ?

ඇමැති රාජිත සේනාරත්න මහතා– නෑ කිසිසේත්ම නැහැ. මේ රජය තරම් වෘත්තීය සමිතිවලට ඇහුම්කන් දුන්, ඉල්ලීම් ඉටු කළ රජයක් තවත් නැහැ. ඒ සඳහා උද්ඝෝෂණය කරන්න යහපාලන රජය ඉඩ ලබා දුන්නා. ඒත් යහපාලනය ප්‍රයෝජනයට අරගෙන නොසණ්ඩාල විදිහට වර්ජනය කරනවා නම් වැරදියි. එදා වර්ජනයකට උද්ඝෝෂණයකට කොළඹ ආවේ දහ පාරක්වත් හොඳට හිතලා බලලා. මොකද ගෝඨාභයගේ කට්ටියට කියලා ඉල ඇට කඩා ගන්න වෙයි කියන බයට.

මාධ්‍යවේදියා- වෘත්තීය සමිති බිය ගන්වන මෙවැනි වැඩ නිසා ආණ්ඩුවට ‘කොන්දක් නෑ’ කියලා චෝදනා එල්ල වෙනවා.

ඇමැති රාජිත සේනාරත්න මහතා– ආ… අපි දැන් ‘කොන්ද කෙළින් කර ගන්නයි’ හදන්නේ.

No comments:

Post a Comment