27 April 2017

ඉන්දීය සංචිතයට බාලගිරි දෝෂය

 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ශූරයන්ගේ කුසලාන (ICC Champions Trophy) ක්‍රිකට් තරගාවලියට සහභාගි වන සියලු රටවල් සිය සංචිත  (25 දා) පෙර නම්කළ යුතුවූ අතර ඉන්දියාව පමණක් මෙතෙක් ඔවුන්ගේ සංචිතය නම්කර නොතිබීමෙන් ගැටලුකාරී වාතාවරණයක් මතුව තිබේ.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට රටවල් 08 ක් (ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව,එංගලන්තය,නවසීලන්තය, බංග්ලාදේශය) සහභාගීවන අතර ඉන්දියාව හැරුණු විට අනෙක් සියලු රටවල්  (25 දා) පෙර සිය සංචිත නම්කර තිබුණි. කෙසේ වෙතත් සංචිතය නියමිත දිනට පෙර ප්‍රකාශයට පත්කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය හේතු ලෙස සඳහන් කර තිබුණේ මෙහෙයුම් කාරණා හේතුවෙන් මෙලෙස සංචිතය නම් කිරීමට නොහැකිවූ බවයි.

එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් අම්තාබ් චෞද්රි හා ප්‍රධාන විධායක නිලධාරී රාහුල් ජෝරි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීම සඳහා සහභාගී වී සිටීමත්, නායක විරාට් කෝලි අයි.පී.එල්. තරගාවලියට සහභාගී වී සිටීමත් හේතුවෙන් මෙම තිදෙනාට එකට එකතුවී කණ්ඩායම තේරීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත් තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය ඉතා ඉක්මනින් නම් කිරීමට පියවර ගන්නා බවද ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

 මෙම ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීමේ වාතාවරණයක් මතුව තිබෙන අතර සංචිතය නම් කිරීම සම්බන්ධව ගැටලුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තුළද දැඩිව කතාබහට ලක්ව තිබේ.

No comments:

Post a Comment