16 April 2017

මීතොටමුල්ලේ ඛේදවාචකය – මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහලට



මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.

ත්‍රිවිද හමුදාව තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම්වල නිරතව සිටින අතර 12 දෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වේ.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (15) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී රැස්වූ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස 145කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

පවුල් 180ට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා පාසලේ සහ අවට ප්‍රජාශාලාවල රැදී සිටින බව පොලීසිය පවසයි.

ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මේ වන විටත් කඩිනම් පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වන ගැටළුවට නිශ්චිත විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව පවතින බව ද අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

—UPdate———————————————————————————

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊයේ (14) පස්වරුවේ සිදු වූ අනතුරෙන් දරුවන් 4 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 7 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තවත් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාල ලැබූ තවත් පිරිසක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර යටවූ පිරිස් බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව අප වාර්තාකරු පවසයි.

කසළ කන්දට යටවී සිටින පිරිස් බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව, ගිනිනිවීම් සේවා දෙපාර්තමෙන්තුව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

කුණු කන්දේ කොටසක් නායයාමෙන් නිවාස 40-50 ට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර හදිසි අනතුරු වළක්වනු පිණිස ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විසින් තීරණය කරන ලදී.

No comments:

Post a Comment