16 April 2017

මීතොටමුල්ල ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්



මේ වන විට ජපානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම ගැන විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ කුණු කන්ද ඉවත්කිරීමට සැලසුම් සකස්කරමින් සිටියදී මෙම ඛේදවාචකය සිදුව ඇති බවයි.

කුණු කන්ද ඉවත්කිරීම සම්බන්ධයෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන බවත් කුණු කන්ද ඉවත්කිරීම වේගවත්ව සිදුකරන බවත් අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම කුණු කන්ද පිළිබඳව කොලොන්නාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ලබාදුන් යෝජනාද කුණු කන්ද ඉවත් කිරීමේ සැලසුම් සඳහා යොදාගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 අගමැතිවරයාගේ නිවේදනය

සිංහල අවුරුද්ද උදාවීමත් සමග නොසිතූ විපතකට මුහුණදීමට සිදුවූ මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාවට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා. එහෙත් එම වැඩ කටයුතු අවසන් වීමට පෙර මේ ඛේදවාචකය සිදු වුණා. ඒ පිළිබඳව රජයේ කණගාටුව ප්‍රකාශ කරනවා.

මේ සිද්ධිය දැනගත් විගස අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරද්දී ඒ වන විටත් සහනදායි සේවා සම්බන්ධීකරණය ක්‍රියාත්මක කර ඒ වැඩකටයුතු ආරම්භ කර තිබුණා. ප්‍රදේශයේ ආරක්‍ෂාව පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිය, සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. එමෙන්ම කතානායකතුමාත් මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා.

එදින නිවාඩු දවසක් වුවත්, ඇති වූ තත්ත්වයට මුහුණදීම සඳහා ස්වදේශ කටයුතු ඇමැතිතුමා නිලධාරීන් ඒකරාශී කරගෙන අවශ්‍ය වැඩකටයුතු සිදු කළා. බිම්මට්ටමේ ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිතුමාත්, හමුදාපතිතුමාත්, එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා සමගත් සාකච්ඡා කළා. මේ පිළිබඳ මූලික වාර්තා අද (15) දින පෙරවරුවේ ලැබුණු විගසම කොළඹ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ රැස් වී විෂය භාර ඇමැතිතුමා සහ නිලධාරීන් ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කළා. අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිතුමා, සුසිල් පේ‍ර්මජයන්ත ඇමැතිතුමා, හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිතුමා, මරික්කාර් මන්ත්‍රීතුමා, මුජිබුර් රහුමාන් මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ඇමැතිවරු සියලූ දෙනාම එක් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ජනාධිපතිතුමාත් මේ සියළු පාර්ශව සමග සාකච්ඡා කළා.

විපතින් ජීවිත හානිවූ, තුවාල ලත්, දේපළ අහිමි වූ සියලූ දෙනා වෙනුවෙන් සහන ලබා දීමේ ක්‍රියාමාර්ග ගැන එකඟත්වයකට පැමිණ ඒ සම්බන්ධයෙන් පත් කර ඇති කමිටුව ජනතාව දැනුවත් කිරීමට නියමිතයි.

කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දුව කිසිසේත්ම වෙනස් නොකරන බව කිව යුතුයි. ඊට අවශ්‍ය සැලසුම් වේගයෙන් ක්‍රියාත්මක කරමින් සිටින බවත් පැවසීමට කැමතියි. මේ පිළිබඳව ජනාධිපතිතුමා සමග මා සාකච්ඡා කළ විට ජනාධිපතිතුමා කියා සිටියේ එම කටයුතු වේගවත් කළ යුතු බවයි.

පසුගිය මාස කිහිපය තුළ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමාගේ යෝජනා කිහිපයක් අප පිළිගත්තා. ඒවාත් එම සැලසුම්වලට ඇතුලත් වෙලා තිබෙනවා. මේ කුණු කන්ද ඉවත් කිරීමේ සියල්ල පරිසයට හිත කර සහ නීතියට අනුකඣල ඒවා. කුණු කන්ද ඉවත් කිරීම නිසා කිසිම ප්‍රදේශයේ පරිසයට හානියක් හෝ පරිසර දූෂණයක් සිදු වන්නේ නැහැ. ඒවා බොරු කතා. මේ නිසා ප්‍රධාන ප්‍රශ්නය විසඳීමට රජය ක්‍රියා කරනවා. එය රජයේ වගකීමක්. අහිංසක ජනතාවගේ ජීවිතවලින් මීට වන්දි ගෙවිය යුතු නැහැ. සමහර පාර්ශව සටන් පාඨ ඉදිරියට දමමින්, කොළොන්නාවේ ජනතාව බිල්ලට දෙන එක මම නම් අනුමත කරන්නේ නැහැ.

අපට තිබෙන්නේ විශේෂයෙන්ම ජනතාව ගැන බලා සහන ලබලා දීමයි. විශේෂයෙන්ම මේ නිවාස නැති වුණ අයට, ඉවත් කරන අයට අලූත් නිවාස ලබාගැනීමට සාධාරණ වන්දියක් ලබා දිය යුතුයි. ඇත්ත වශයෙන්ම සෑහීමකට පත්විය යුතු විසඳුමක් ඔවුන්ට ලබා දිය යුතුයි. නැත්නම් ඔවුන්ට සිය  ජීවිතය ඉදිරියට ගෙන යාමට අමාරු වෙනවා. මට ඕනෑ සෑම කෙනෙකුම සැහීමකට පත් වන විදිහට එම ක්‍රමවේදය ඉදිරියට ගෙන යාමටයි.

විපතට පත් වූ අය ගලවා ගැනීම සඳහා සිංහල අවුරුදු නිවාඩු කාලයේ සහන සේවා කටයුතු කරගෙන ගිය සියලූ දෙනාටම අපි ස්තූති වෙනවා. සම්පූර්ණ වාර්තා ලැබුණු පසු මේ ගැන සවිස්තර ප්‍රකාශයන් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.   

No comments:

Post a Comment