16 April 2017

උතුරු කොරියානු ප්‍රශ්නය සාමකාමීව විසඳන්න - ජින්පිං


උතුරු කොරියාවේ සහ සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින්පිං අතර දුරකථන සාකච්ඡාවක් පැවැත් වූ බව චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.

2016 වසරේ සිට සිය මිසයිල සංවර්ධන වැඩසටහන හා න්‍යෂ්ටික වැඩසටහන දිගින් දිගටම සිදුකරගෙන යන තම අකීකරු අසල්වැසියාට තෝන් ලණුව යොදන ලෙස ට්‍රම්ප් මීට පෙරත් අවස්ථා කිහිපයකදීම චීනයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, පසුගිය සතියේදී ගුවන් යානා හාරක නෞකාවක් ප්‍රමුඛ යුද නෞකා බලගණයක් කොරියානු අර්ධද්වීපය වෙත යැවීමට ඇමෙරිකාව කටයුතු කළේය.

"චීනය උතුරු කොරියානු අර්බුදය විසඳුවොත්, ඇමෙරිකාව හා චීනය අතර පවතින වෙළෙඳ ගනුදෙනුව වඩාත් සුබවාදී වේවි යනුවෙන් තමා චීන ජනාධිපතිවරයාට පැවසූ බව" ට්විටර් පණිවුඩයකින් ට්‍රම්ප් පවසා තිබුණි.

"උතුරු කොරියාව ප්‍රශ්නයක් වෙන්නයි උත්සාහ කරන්නෙ. චීනය මේ ප්‍රශ්නය විසඳන්න තීරණය කළොත්, එය සුවිශේෂී කාරණයක් වෙනවා. එසේ නොවුණොත්, ඔවුන් නොමැතිව අපි ඒ ප්‍රශ්නය විසඳනවා" යැයි ඔහු දෙවැනි ට්විටර් පණිවුඩයෙන් පවසා තිබුණි.

මෙහිදී, චීන විදේශ අමාත්‍යාංශය පවසා සිටියේ න්‍යෂ්ටික තර්ජනයක් නොමැති සාමකාමී හා ස්ථාවර කොරියානු අර්ධද්වීපයක් තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකානු නායකයාට ෂී ජින්පිං පැවසූ බවයි.

"මේ ප්‍රශ්නය සාමකාමී අයුරින් විසඳිය යුතු බවට ඇමෙරිකානු නායකයාට උපදෙස් ලබාදුන්නා. ඒ වගේම, කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග දිගින් දිගටම සාකච්ඡා කිරීමට හා සහයෝගයෙන් කටයුතු කිරීමටද චීනය සූදානම් බව පවසා සිටියා." යැයි ජනාධිපතිවරයා උපුටා දක්වමින් එරට විදේශ අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්ව තිබුණි.    

No comments:

Post a Comment