25 April 2017

තෙල් සේවකයින්ට අගමැති දුන් ලිඛිත පොරොන්දුව මෙන්න



ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වර්ජනය ඊයේ (24) රාත‍්‍රීයේ අවසන් කෙරුණා.

ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මතයි.

ප‍්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ පෙරේදා මධ්‍යම රාත‍්‍රියේයි. මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල පෙරේදා පස්වරුවේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඊයේ පස්වරුව වන විට ඇතැම් ඉන්ධනහල් වසා දැමුණේ තම ඉන්ධන සංචිත අවසන් වීම හේතුවෙන්.

ගැටළුව සම්බන්ධයෙන් ඊයේ පෙරවරු 9.30 ට වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට අමාත්‍ය චන්දිම වීරක්කොඩි තීරණය කර තිබුණා. එහෙත් එම සාකච්ඡාව පස්වරු 02.00 දක්වා කල් දැමුණේ වෘත්තීය සමිති නියෝජිතයින් කළ ඉල්ලීමකට අනූවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව නිමා වූණා. ඉන් අනතුරුවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාව ආරම්භ කෙරුණේ.

ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට විකිණීමේ කිසිඳු තීරණයක් ගෙන නැතැයි මෙහි දී අග‍්‍රාමාත්‍යවරයා විසින් ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මාධ්‍ය වෙත කියා සිටියා.

අද දහවල් වන විට ඛණිජ තෙල් සැපයුම යථාවත් කිරීමට කටයුතු කරන බවට වෘත්තීය සමිති නියෝජිතයින් පොරොන්දුවක් ද ලබා දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

වැඩවර්ජනය අවසන් කිරීමෙන් පසු ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කරමින් සඳහන් කළේ ගැටලු සම්බන්ධයෙන් අගමැතිවරයා සෑහීමකට පත්විය හැකි ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බවයි.

මේ අතර වැඩවර්ජනය අවසන් කෙරුණ ද පැය විසි හතර පුරා විවෘතව තබන දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් තවමත් වසා දමා තිබෙනවා. ඒ ඔවුන්ගේ ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන්. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල අද අලූයම සිටම දිගු පෝලිම් දක්නට ලැබුණා. විශේෂයෙන්ම කොළඹ ඇතුළු තදාසන්න නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වල මෙලෙස දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

(අගමැතිවරයා දුන් ලිඛිත පොරොන්දුව පහතින් දැක්වෙයි)

No comments:

Post a Comment