25 April 2017

උණුසුම වැඩි වීමට හේතුව අධික වාහන භාවිතය හා පරිසර විනාශයයි



උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල උෂ්ණත්වය සමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 5– 6ත් අතර ප්‍රමාණයකුත්, අනෙකුත් ප්‍ර‘දේශවල සෙල්සියස් අංශක දෙකත්, තුනක් අතර අගයකිනුත් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේවනවිට ත්‍රිකුණාමල ප්‍ර‘දේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් බවට පත්වී තිබෙන බවත්, යම් ලෙසකින් මෙම අගය සෙල්සියස් අංශක 40ක් වුවහොත් එය දරාගැනීමට නොහැකි තත්ත්වයක් විය හැකි බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා සඳහන් කළේය.

මේවනවිට ක්‍රියාත්මකවන්නේ අන්තර් මෝසම් සුළං බවත්, මේ නිසා සුළඟේ වේගය අඩුවී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා පරිසරයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය ඉහළගොස් තිබෙන බවත්, මෙම තත්ත්වය නිසා ශරීරයෙන් පිටවන ජල වාෂ්ප පිට කිරීමට අපහසු වී තිබෙන බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

වර්ෂාව ඇති වුවද ශරීරයට අධික උෂ්ණත්වයක් ඇති වී තිබෙන්නේ මේ නිසා බවත්, එහෙත් මැයි මස 20 වැනිදායින් පසු ඇතිවන නිරිතදිග මෝසම් සුළං සමග මෙම තත්ත්වය අඩුවී යන බවත් ඔහු සඳහන් කළේය.

පොදුවේ පසුගිය වසරවලට වඩා උෂ්ණත්වය ඉහළ යාමක් දක්නට ලැබෙන බවත්, මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අධික වාහන භාවිතය හා පරිසරය විනාශ කරදැමීම බවත් අධ්‍යක්ෂවරයා පවසා සිටියේය.

පවතින අධික උෂ්ණත්වයෙන් යම් තරමක් හෝ සහනයක් ලැබීමට තද වර්ණ ඇඳුම් භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙසත්, සෑම විටම සැහැල්ලු ආකාරයට ඇඳුම් පැලඳුම් භාවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (24දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව උපරිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් වාර්තා වූ අතර, එම ප්‍රමාණය සෙල්සියස් අංශක 37කි.

මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් වූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34කි. මඩකලපුව, මන්නාරම, යාපනය දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් වූ අතර, මහනුවර, කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32කි.

මීට අමතරව නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 23ක් ලෙස සටහන් විය.

No comments:

Post a Comment