23 April 2017

කුණු ප්‍රශ්නයෙන් ආණ්ඩුව පෙරළන සැලසුමක් බුද්ධි අංශ හෙලිකරලා



කුණු ප්‍රශ්නය මත දිගින් දිගටම සංවිධානය වෙමින් ඇති ජනතා විරෝධතා ආණ්ඩුවට එරෙහි ජනතා හර්තාලයක් දක්වා වර්ධනය කර ආණ්ඩුව පෙරළීමේ උත්සාහයක්  ඇති බවට බුද්ධි අංශ වාර්තාවක් නිකුත්ව ඇතැයි දැනගන්නට ලැබී තිබේ.

අප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය දිනක රාජ්‍ය බුද්ධි අංශය මෙම වාර්තාව ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත ඉදිරිපත් කර ඇත.

වාර්තා වන ආකාරයට කුණු ප්‍රශ්නය මත 53 හර්තාලය පන්නයේ තත්ත්වයක් රට තුළ ඇති කිරීමේ සූදානමක් ඇති බවත් මෙතෙක් දිවයින පුරා කුණු බැහැර කළ ස්ථාන වැටලීම,  කොළඹ ඇතුළු  නාගරික ප්‍රදේශවල කුණු බැහැර කිරීම අඩාළ කිරීම  සහ දිවයිනේ එක් එක් ප්‍රදේශවල කුණු බැහැර කිරීම වළකාලමින් අධිකරණ තීන්දු ලබා ගැනීම හරහා ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි කිරීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බවත් එම කටයුතු වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සෘජු මැදිහත් වීමක් සිදු කරන බවත් එම වාර්තාවේ  සඳහන්ව ඇත.

එසේම ආණ්ඩුවේ උපදේශකයන් ද මෙම කුණු ප්‍රශ්නය කඩිනමින් විසඳා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් එය ආණ්ඩුවේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් සිදු කරනු ඇති බව පෙන්වා දී ඇති බව වාර්තා වෙයි. 1999 බස්නාහිර පළාත් සභා මැතිවරණය සිහිපත් කරමින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කරු ජයසූරිය පරාජය වීමට වග ප්‍රදේශයේ කුණු කසළ බැහැර කිරීම සම්බන්ධව මතු වූ ප්‍රශ්නය තීරණාත්මකව බලපෑ බවය. එහි දී වග ප්‍රදේශයට කුණු බැහැර නොකරන බවට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ධුරයට ඉදිරිපත් වන අපේක්ෂකයන්  ප්‍රතිඥාවක්  දිය යුතු බවට දිනේෂ් ගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිස ගෙන ගිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියේ දී එජාප අපේක්ෂකයා එම ප්‍රතිඥාව ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප ඡන්ද අඩු වීමට එය බලපෑ බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර කසළ කළමනාකරණය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කළ යුතු යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය දා අවධාරණය කර ඇත. අමාත්‍යවරයා මෙසේ අවධාරණය කර සිටියේ මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය සමඟ සමාජගත වෙමින් පවතින කැළි කසළ බැහැර කිරීම,කසළ ප්‍රතිචක්‍රීයකරණය සහ පසුගිය කාලසීමාව තුළ දී මේ සම්බන්ධව සිදු කළා යැයි පැවසෙන තොරතුරු සම්බන්ධයෙන් නිවැරැදි කරුණු සමාජගත කිරීමේ අරමුණින් පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.  එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.

“මීතොටමුල්ල විශාල ඛේදවාචකයක් බවට පත් වී ඇති මොහොතක දේශපාලන පාපන්දුවක් බවට පත් කරගනිමින්, දේශපාලන චරිත ඝාතන සහ විවිධ මතවාද පැතිරවීම සඳහා මෙම සිදුවීම උපයෝගී කර ගැනීම ඉතාම කනගාටුවට කරුණක්. මේ පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව නිවැරැදි ලෙස දැනගත යුතුයි. නාගරික සංවර්ධන අධිකාරියේ තිබෙන සම්බන්ධතාව සඳහන් කළහොත් වසර 2002 දී මේ ප්‍රදේශය හඳුනාගනු ලැබුවා. එම වගුරු බිම විධිමත්ව සංවර්ධනය කරලා ජල සංරක්ෂණ ප්‍රදේශයක් එක්ක නාගරික සංවර්ධන ප්‍රදේශයක් බවට පත් කරන්න රජය තීරණය කරනු ලැබුවා. ඒ අනුව නාගරික සංවර්ධන ප්‍රදේශයක් හැටියට ප්‍රකාශයට පත් කරලා2002 වසරේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරා දුන්නා. නමුත් කොලොන්නාව නාගරික බල ප්‍රදේශයේත්, කොලොන්නාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේත් කසළ මෙම ස්ථානයට බැහැර කිරීම දිගින් දිගටම සිද්ධ වුණා. 2008 වර්ෂයේ දී අක්කර 02ක පමණ ප්‍රදේශයක පමණයි කුණු දැමීම සිදු වුණේ. නමුත් අද වන විට අක්කර 21 ක් දක්වා පැතිරිලා.

ඒ අනුව කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා මා පරිසර අමාත්‍යවරයාව සිටි කාලයේ පිළිසරු ව්‍යාපාරය හඳුන්වා දෙමින් මිලියන 120 ක් වියදම් කරලා කසළ කළමනාකරණ මධ්‍යස්ථානයක් ඉදිකරනු ලැබුවත් ඒ සඳහාත් විරෝධතා මතු වුණා.2009 වසරේ සිට කොළඹ නගර සභාවේත් කසළ එම ස්ථානයට බැහැර කිරීම ආරම්භ වුණා.

අධිකරණ නියෝගයකට අනුව මාස 06 කට පමණක් තාවකාලිකව කසළ බැහැර කිරීමට අවසර ලබා දීමත් 2009 සිට ටොන් 600 බැගින් කොළඹ නාගරික බල ප්‍රදේශයේ කසළ ඊට අමතරව කොලොන්නාව නගර සභාව හා ඇතැම් අවස්ථාවල කඩුවෙලෙනුත් මෙම ස්ථානයට කුණු රැගෙන ආවා.  දැන් මෙතන වර්ග මිලියනයක පමණ කසළ තැන්පත් වී තිබෙනවා. එය කුණු කන්දක් සාමාන්‍යයෙන් මීටර් 30 සීමාවට වඩා ඉහළ ගොස් මීටර් 48.5 ක බවට පත් වී, 50% කටත් වඩා වැඩිපුර කසළ ප්‍රමාණයක් බැහැර කිරීම හේතුවෙන් මේ ව්‍යසනයට අඩිතාලම වැටී තිබෙනවා.

සමහරු කියනවා අපි කසළ අරුවක්කාරුවට ගෙනියන්න හිටියේ කියලා. එය පටන් ගන්න කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 අගෝස්තු මාසයේයි. එයට මුදල් වෙන් කළේ 2015 අයවැයටයි. එහි විද්‍යාත්මක කසළ බහාලුමක් ඇති කිරීමයි එයින් කරන්න හැදුවේ. නැතුව අද හැදුවා හෙට කුණු දාන්න නොවෙයි එය කළේ. එම වැඩපිළිවෙළ පටන් ගැනීම හොඳයි. ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කරන්න එපා” යනුවෙන් ද ඇමැතිවරයා පවසා සිටියේය.

සංජය ලියනගේ (Sathhanda)

No comments:

Post a Comment