03 May 2017

ලංකාවේ මිලියන 2ක් ඇදුම රෝගය යෙන් පෙළෙන බවට හෙළිවෙයි


මෙරට ජනගහනයෙන් මිලියන දෙකක ජනතාවක් ඇදුම රෝගයෙන් පීඩා විඳින අතර පුද්ගලයන් 1500 ක් රෝගය හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වන බව මහනුවර ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ඞී. මැදගෙදර මහතා පවසයි.

ඇදුම රෝගය උත්සන්න වන අවස්ථාවලදී පමණක් භාවිත කළ යුතු සැල්බියුටමෝන් ඖෂධය දිනපතා රෝගීන් භාවිත කිරීම නිසා ජීවිත හානි වැඩි වීමක් සිදු වන්නේ යැයි ද ඒ මහතා පැවැසුවේය.

ලෝක ඇදුම දිනය නිමිත්තෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (02) ප‍්‍රකාශ කළේය.

ඇදුම රෝගය පාලනය කර ගැනීම සඳහා ස්ටීරොයිඞ් ඉන්හේලර් භාවිත කිරීම සුදුසු බවත් ඇදුම රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් වැඩි පිරිසක් වර්තමානයේදී නාගරික ප‍්‍රදේශවලින් වාර්තා වන බවත් ඒ මහතා කීය.
නාගරික ප‍්‍රදේශවල පිහිටි පෙර පාසල්වල දරුවන් අතර ආසාදන රෝග සහ ශ්වසන රෝග ව්‍යාප්ත වීම හේතුවෙන් දරුවන් ඇදුම රෝගයට ගොදුරු වීම ඉහළ ගොස් ඇති බවත් මේ ගැන දෙමාපියන් සැලකිලිමත් විය යුතු බවත් හෙතෙම පැවැසීය.

ඇදුම රෝගයට අවශ්‍ය ප‍්‍රතිකාර සියලූ‍ රජයේ රෝහල්වල පවතින බවත් සායනික ප‍්‍රතිකාරවලට සහභාගි වී නොමිලේ ප‍්‍රතිකාර ලබා ගත හැකි බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

පරිසර දූෂණය, වාතාශ‍්‍රය, දූෂණය යනාදිය ඇදුම රෝගයට හේතුවක් බවත් මේ රෝගය තබාගෙන සාමාන්‍ය ජීවිතයේ කරන ඕනෑම කටයුත්තක් කළ හැකි බවත් ඔහු පැවැසීය.

ලෝකය පුරා ඇදුම රෝගීන් මිලියන 334 කට වඩා වැඩියෙන් සිටින අතර ලොව පුරා දරුවන්ගෙන් සියයට 14 ක් පීඩා විඳින්නේ යැයිද රෝගය උත්සන්න වීම නිසා දෛනිකව මෙරට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්ගත වන්නේ යැයිද ඔහු කීය.

පීනස, ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග හේතුවෙන්ද ඇදුම ඇති විය හැකි අතර එම රෝග තත්ත්වයන්ට ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් ඇදුම රෝගය වළක්වා ගත හැකි යැයිද ඔහු පැවැසුවේය.

මේ අවස්ථාවට ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති එස්. මුහුන්තන්, ජයවර්ධනපුර රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහත්වරු සහභාගි වූහ.

No comments:

Post a Comment