03 May 2017

'2030 සිට විදුලි වාහන පමණයි 'ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක්

වසර 2030 වන විට තම රටේ අලෙවි වන සියලූම වාහන විදුලියෙන් ධාවනය වන ඒවා පමණක් බවට පත්කරලීමට කටයුතු සිදුකරනු ලබන බව ඉන්දීය බලශක්ති අමාත්‍ය පියුස් ගොයාල් ප්‍රකාශ කර සිටී.

“අපි මේ වන විට විශාල වශයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉන්දියාව තුළ ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදනය ඉහළ නංවන්න සැලසුම් සකස් කරනු ලබනවා. අපේ අභිප්‍රාය වන්නේ 2030 වසර වන විට ඉන්දියා තුළ එකදු පෙට්‍රල් හෝ ඩීසල් මෝටර් රථයක් අලෙවි නොකරන පසුබිමක් සකස් කිරීමයි“, යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ඉදිරි වසර තුනක කාලය තුළ දී ඉන්දියාව තුළ විශාල පරිමාණයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ බැටරි ආරෝපණ මධ්‍යස්ථාන හා සේවා පහසුකම් දැවැන්ත ලෙස රටපුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්ය.

තවද ලොව ප්‍රධානතම ඉලෙක්ට්‍රික් මොටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක් වන Tesla හා Nissan සමාගම්, ඉන්දීය වෙළෙඳපොළට පිවිසීම පිළිබඳ සිය සැලසුම් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති බවත්, රජයේ ඉදිරි සැලසුම්වල සාර්ථකත්වය මත ලොව අනෙකුත් ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් මොටර් රථ නිෂ්පාදකයින්ට ද ඉන්දීය වෙළෙඳපොළට පිවිසීට ඇති අවස්ථාව විශාල වශයෙන් විවර කරනු ලබන බවත් බලශක්ති අමාත්‍ය පියුස් ගොයාල් වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන ආනයනය සඳහා වාර්ෂිකව ඉන්දියාව දරන පිරිවැය පහත හෙළීමත්, වායූ දූෂණය අවම කිරීම, ජනතාවට අඩුම වියදමකින් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම වැනි කරුණු හේතු කර ගෙන ඉන්දීය රජය විසින් මෙම තීන්දුව ගෙන ඇති බව බලශක්ති අමාත්‍යවරයා අනාවරණය කර සිටියේය.

No comments:

Post a Comment