03 May 2017

ISIS ත්‍රස්තයා ලුහුබැඳි FBI නිලධාරිනිය ඔහුව බැඳලා



 ප්‍රමුඛ පෙළේ IS ත්‍රස්තයෙකු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අනියුක්තව සිටි ඇමෙරිකානු FBI බුද්ධි නිලධාරිනියක එම ත්‍රස්තයා සමග විවාහ වූ ආන්දෝලනාත්මක පුවතක් ආනාවරණය වෙයි.

FBI ආයතනයද ගොනාට අන්ඳවා ඇති ඩැනියෙලා ග්‍රීනී නැමති ඇමෙරිකානු කාන්තාව තමා යන එන තැන් වසන් කරමින්, තම නව ස්වාමියාව ඇමෙරිකානු උකුසු ඇසින් ආරක්ෂා කරගැනීමටද කටයුතු කර ඇති බව ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණ වාර්තාවල සඳහන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

2014 වසරේදී සිරියාවට ගොස් ඇති මෙම කාන්තාව පිළිබඳ නාටකය ලොවට හෙළි නොකිරීමට ඇමෙරිකාව වගබලාගෙන ඇත්තේ රට පුරා IS ඉස්ලාම් ත්‍රස්තවාදයේ අක්මුල් සොයා රහසිගත මෙහෙයුම් සිදුකරන FBI ආයතනයද ජාතික ආරක්ෂාවේ හිදැසක් ප්‍රකට කිරීම නිසාය. 

කෙසේ වෙතත්, මෙම කාන්තාවට අතිශය වාසිසහගත තීන්දුවක් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබුවේද යන පැනය ඇති වී තිබුණේ සිරියාවේ සිට යළි ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත් මෙම කාන්තාවට සුළු දඬුවමක් පමණක් පණවා තිබූ බැවිනි.

එහිදී, අදාළ FBI නිලධාරිනිය ලුහුබැඳි IS ත්‍රස්තයා ජර්මානු ජාතික රැප් ගායකයෙකු ලෙස කටයුතු කරමින් ත්‍රස්තවාදය වැළඳ ගත්තෙකු බවද විදෙස් වාර්තා පවසයි. ඩෙනිස් කස්පර්ට් නමැති මොහු අන්තර්ජාලය තුළින් ජිහාඩ් අනුගාමිකයන් ඇති කිරීම සඳහා ගෙනගොස් තිබූ ක්‍රියාකාරකම් ඇමෙරිකානු හා ජර්මානු බුද්ධි අංශ විසින් ග්‍රහණය කරගෙන තිබුණි.

ජර්මනියේදී ඩෙසෝ ඩොග් නමැති රැප් නාමයෙන් පෙනී සිටි ඔහු සිරියාවේදී අබු ටල්හා අල්-අල්මානි යන නමින් පෙනී සිට ඇත. ඔහු සිය ගීත තුළින් ඔසාමා බින්ලාඩ්න්ද වීරයෙකු කර ඇති අතර, හිටපු ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාටද ඔහුගේ ප්‍රචාරණ වීඩියෝ තුළ මරණීය තර්ජන එල්ල කර ඇති බව අනාවරණය වෙයි.

කෙසේ වෙතත්, 38 හැවිරිදි වියේ පසුවූ FBI නිලධාරිනිය විසින් කස්පර්ට් නමැති මෙම ත්‍රස්තවාදියා සමග සිරියාවේදී විවාහ වී වැඩි කලක් යාමට මත්තෙන්ම තමන් සිදුකර ඇත්තේ වෙනස්කළ නොහැකි අත්වැරැද්දක් බව වටහාගෙන ඇති බව අධිකරණ වාර්තා ගෙනහැර දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව, 2014 ජූනි මාසයේදී සිදුවූ විවාහයෙන් පසුව එම වසරේම අගෝස්තු මාසයේදී සිරියාවෙන් පැන යාමට ඇය කටයුතු කර ඇත. කෙසේ වෙතත්, එහිදී ග්‍රීනි ඇමෙරිකානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබුණි. 2014 දෙසැම්බර් මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගත කළ ග්‍රීනි හෙවත්, FBI නිලධාරිනිය 2016 අගෝස්තුවේදී නිදහස ලබා තිබුණි.

මෙම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය මේ වනවිට විදෙස් මාධ්‍ය කලඹා ඇති අතර, ඇමෙරිකානු FBI ආයතනයට මෙන්ම, එරට අධිකරණ දෙපාර්තමේන්තුවටද මෙය කැළලක් වී තිබේ.

Ada

No comments:

Post a Comment