03 May 2017

පාර්ලිමේන්තු සජීවී විකාශයට ලක්ෂ 428ක් ගෙවලා

පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කිරීම වෙනුවෙන් රුපියල් 42,819,498ක මුදලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රූපවාහිනී සංස්ථාවට ගෙවා තිබේ.පාර්ලිමේන්තුවේ තොරතුරු අංශයෙන් ලබාගත් තොරතුරු අනුව මෙලෙස පාර්ලිමේන්තුවේ සජීවී විකාශයන් සඳහා දිනකට රුපියල් 563,040 ක මුදලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතුව තිබේ.

පාර්ලිමේන්තුවේ විවාදයන් සහ පාර්ලිමේන්තු කටයුතු සජීවීව විකාශය කළ යුතු බව වත්මන් පාර්ලිමේන්තුවේදී තීරණය වූ අතර, ඒ අනුව 2015 වර්ෂයේ ඔක්තෝබර් 08 වැනිදා සිට පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව මේ දක්වා අවස්ථා 10කදී සජීවී විකාශයන් වෙනුවෙන් රුපියල් 42,819,498 ක මුදලක්  පාර්ලිමේන්තුව විසින් රූපවාහිනී සංස්ථාවට ගෙවා ඇත.තවද මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු පමණක් විකාශය කිරීම සඳහා පියෝ ටීවී කේබල් රූපවාහිනී සම්බන්ධතාවය තුළ එක් නාළිකාවක් පාර්ලිමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ.

පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාව වෙත තවදුරටත් සමීප කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය.

No comments:

Post a Comment