05 May 2017

සයිටම් විරෝධී වර්ජනය අද



සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා අද උදෑසන 08.00 සිට වෛද්‍ය, ගුරු, විදුහල්පති හා විද්‍යාපීඨ, දුම්රිය නියාමක වැඩ වර්ජනයක් හා විශ්වවිද්‍යාල  පන්ති වර්ජනයක් සිදුකරන බව එම සංවිධාන නියෝජිතියෝ සඳහන් කරති.

මේ අනුව අද (05දා) උදෑසන 8.00 සිට හෙට (06දා) දක්වා වෛද්‍ය වැඩ වර්ජනයක් දියත් කරන බවත්, මීට අමතරව රජයේ ආයුර්වේද සහ රජයේ පශු වෛද්‍ය සේවා තුළද වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්වී මෙම වර්ජනයට සහයෝගය දක්වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

මීට අමතරව වෘත්තීය සමිති 180ක් කළුපටි පැලඳඋද්ඝෝෂණ සිදුකර විරෝධතා අත්පත්‍රිකා බෙදාහරිමින් මෙම ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මීට අමතරව සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කරන වැඩ වර්ජනයට සාපේක්ෂව අද දිනයේදී ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගයට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ පවතින වෘත්තිය සමිති 13න් 12කම නියෝජිතයන් සහභාගි වන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

සයිටම් වසා දමන ලෙස ඉල්ලා සිදුකරන වැඩවර්ජනයට සහයෝගයක් වශයෙන් අද (05දා) දින සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

මීට අමතරව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්දසේවයෙන් ඉවත්වී වර්ජනයට සහයෝගය දක්වන බවද වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් අද (05දා) උදෑසන 08.00සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකයෝ සඳහන් කරති. මේ අනුව දුම්රිය ව්‍යාපෘති පෞද්ගලික අංශයට ලබාදීම නවතා දැමීම, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නැවත ලබාදීම සහ සයිටම් ආයතනය වසා දැමීම යන ඉල්ලීම් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඹගොඩ මහතා සඳහන් කළේය.

මීට අමතරව තම සංගමයට අයත් සේවකයන් අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් පී.එම්.පීරිස් මහතා සඳහන් කළේය.

 එමෙන්මරජයේ ආයුර්වේද වෛද්‍ය, රජයේ දන්ත වෛද්‍ය, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ‘ සංගමයට අයත් සියලුම සාමාජිකයන්ද අද (05දා) දිනය තුළ සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

වැඩ වර්ජනය සිදු වුවද මානුෂීය හේතූන් මත ළමා රෝහල්, කාන්තා රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ පිළිකා රෝහල් තුළ වැඩ වර්ජනය දියත් නොකරන බවත්, මීට අමතරව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment