05 May 2017

'දේශපාලන උප්පරවැට්ටිවලට අපේ සහාය නැහැ' සමන් රත්නප්‍රිය

සයිටම් ආයතනය ජනසතු කළ යුතු බවට පවසමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු තවත් සංගම් කිහිපයක්. සිදු කරන වැඩ වර්ජනය සඳහා ජාතික වෘත්තීය සමිති පෙරමු‍ණේ කිසිදු දායකත්වයක් ලබා නොදෙන බව එම පෙරමුණේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

සයිටම් ආයතනය වසා දමනු කියන සටන් ‍පාඨය මුල් කර ගනිමින් සිදු කරන මේ වැඩ වර්ජනයට සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, රාජ්‍ය පරිපාලන, රාජ්‍ය කළමනාකරණ, රාජ්‍ය කර්මාන්තශාලාව, වරාය ආදි ක්ෂේත්‍රවල ජාතික වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය වෘත්තිය සමිති 50 ක පමණ සහාය වැඩ වර්ජනයට‍ නොලැබෙන බවත් වෙනදා මෙන් සාමාන්‍ය සේවාවන් අද (5) දිනයේ පවත්වාගෙන යන බවත් ඒ මහතා පැවැසුවේය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (4) ප්‍රකාශ කළේය.

මාසයකට පමණ පෙර ද මෙවැනි වැඩ වර්ජනයක් සෙසු ක්ෂේත්‍රයන් සහභාගි කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයක් සිදු කළ ද, එහිදී සංගමයේ නිලධාරින් හැර සෙසු ක්ෂේත්‍රයන්හි මහජනතාවට දැනෙන ආකාරයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොවුණ බව ද ඔහු කීය.

මේ වැඩ වර්ජනය සඳහා වෘත්තීය සංගම් 160 ක පමණ සහභාගිත්වයක් ලැබෙන බවට නාම ලේඛනයක් ප්‍රකාශයට පත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ ද, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයෙහි සහාය ඔවුන්ට ලබානොදෙන බවත් නමුත් එම සංගමයේ නම ද ඔවුන්ගේ නාම ලේඛනයට ඇතුළත් කර ගෙන තිබීම බරපතල ගැටලුවක් බවත් හෙතෙම පැවැසීය.

නාම ලේඛනයක සංගම්වල නම් දැම්මා කියලා ඔවුන්ගේ වැඩ වර්ජනය සාර්ථක නොවන බවත් දේශපාලන අරමුණු මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරන මෙවැනි වැඩ වර්ජනවලට සහාය දීම සිදු නොකරන බවත් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

වැඩ කරන ජනතාව වෙනුවෙන් සටන් කර අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමට අප ඕනෑම වේලාවක සූදානම් බවත් එවැනි සටනක් දියත් කරමින් පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 වැටුප් වැඩිවීමක්, සෞඛ්‍ය වෘත්තිකයන්ට රුපියල් 3000 ක දීමනාවක් ජයග්‍රහණය කිරීම යනාදිය සිදු කළ බවත් ඔහු පැවැසීය.

No comments:

Post a Comment