22 June 2017

බිලියන 5ක් ලාභ ලැබූ පර්පචුවල් ට්‍රෙෂරීස් ආදායම් බදු ගෙවා නෑ

 අනෙකුත් ප්‍රාථමික ගැනුම්කරුවන් අතරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වූ රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු හෝ ගෙවා නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ සුරේෂ් ප්‍රසන්න සේදර මහතා  (21දා) හෙළි කළේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන ඇති රුපියල් කෝටි 504ක් වූ වැඩිම ලාභය ප්‍රතිශතයක් ලෙස බැලීමේදී සියයට 80.4ක් බවද බැඳුම්කර වෙළෙඳ පොළේ ප්‍රාථමික ගැනුම්කරුවන් 16දෙනෙකුගේ මූල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කරමින් සුරේෂ් ප්‍රසන්න සේදර මහතා පෙන්වා දුන්නේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්‍ෂි විභාග කිරීම සිදුකෙරේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ සුරේෂ් ප්‍රසන්න සේදර මහතා සාක්‍ෂි දෙමින් මෙම තොරතුරු හෙළිකළේය.

සුරේෂ් ප්‍රසන්න සේදර මහතා, බැඳුම්කර වෙළෙඳ පොළේ ප්‍රාථමික ගැනුම්කරුවන් 16දෙනෙකුගේ මූල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කළ අවස්ථාවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් හා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් එම මූල්‍ය වාර්තා අධ්‍යයනය කිරීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් අවස්ථාවේදී ප්‍රාථමික ගැනුම්කරුවන් 16දෙනෙකුගේ මූල්‍ය වාර්තාවල රහසිගත මූල්‍ය තොරතුරු අඩංගු හෙයින් අදාළ ආයතනවල නම් මකා දැමීමෙන් පසු ඒවායේ පිටපත් ලබාදිය හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසමට දැනුම් දුන්නේය.

No comments:

Post a Comment