22 June 2017

චීනයේ බලු මස් කන යූලීන් තහනමකින් තොරව මෙවරත්

 ලෝකය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ චීනයේ යූලීන් සුනඛ මස් අනුභව කිරීමේ උත්සවය කිසිදු තහනමකින් තොරව සුපුරුදු පරිදි මෙවරද ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

සතුන් කෙරෙහි කෘරත්වය විදහා දක්වන මෙම උත්සවය වෙත එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් මෙම වසරේ සිට එය තහනම් කෙරෙන බවට විවිධ වාර්තා පළ වුවත්, චීනයේ ගුවාන්ග්ෂි පළාතේදී සුපුරුදු පරිදි මෙය ආරම්භ වී තිබේ.

විශේෂයෙන්ම සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වසර ආරම්භයේදීම පවසා සිටියේ මෙම වසරේ සිට යූලීන් උත්සවය පැවැත්වෙන කාල සීමාවේදී පාරිභෝගිකයන්ට සුනඛ මස් ලබා නොදෙන ලෙස චීන රජය විසින් වෙළෙන්ඳන් දැනුවත් කර ඇති බවය.

කෙසේ වෙතත්, මෙම පළාතේ සුනඛ මස් වෙළෙඳාමේ යෙදෙන වෙළෙන්ඳන් පවසා ඇත්තේ ඔවුන්ට රජයෙන් එවැනි කිසිදු තහනමක් පැනවී නොමැති බවකි. එමෙන්ම, පසුගිය මැයි 15 වැනිදා නගර බලධාරීන් එවැනි තහනමක් නොමැති බව අවධාරණය කළ බවද වෙළෙන්ඳෝ පවසති.

විවිධ පාර්ශ්ව විසින් මතු කරන විවිධ තර්ක හමුවේ අවසානයේදී මෙම වසර තුළද අහිංසක සුනඛයන් දස දහස් ගණනින් මිනිසුන්ගේ කුස පිරවීම සඳහා මරණයට කැප වෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, යූලීන් නගරයේ වෙළෙඳ සැල්වල පුළුස්සා එල්ලා තැබූ සුනඛයන්ගේ ශරීර සුපුරුදු පරිදිම ප්‍රදර්ශනයේ පවතින බවද කියැවෙයි.

කෙසේ වෙතත්, මෙවර මෙම උත්සවය හේතුවෙන්ම නගරය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසරේදී මෙම වෙළෙඳ සැල් වෙත කඩා වැදුණු ක්‍රියාධරයන් මෙම සුනඛයන් බේරාගැනීමට යාමේදී වෙළෙඳ සැල් හිමියන් හා ඔවුන් අතර ගැටුම්කාරී වාතාවරණයක් උද්ගත වීම වැළැක්වීම මෙන්ම, චීන රජය විසින් හිතාමතාම මෙම උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව වක්‍රාකාරයෙන් සැපයීමද මෙම ක්‍රියාකලාපය තුළ පිළිබිඹු වන බවද සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් පවසති.

කෙසේ වෙතත්, මෙම යූලීන් නගරය චීනය තුළ සුනඛ මස් අනුභවය සඳහා ඓතිහාසික පසුබිමක් පවතින නගරයක් නොවේ. මීට වසර 10කට පමණ පෙර මෙම නගරයට අලුතින් හඳුන්වාදුන් යූලීන් උත්සවය සමග එය ජාතික හා අන්තර්ජාතික වශයෙන් සුනඛ මස් අනුභවය සඳහා ප්‍රචලිත කෙරුණු වෙළෙඳ ප්‍රවර්ධනයක ගොදුරක් බවට පත්වූ නගරයකි.

එනමුදු, අද වනවිට මෙම සුනඛ මස් වෙළෙන්ඳන් මෙන්ම, ඒවා අනුභව කරන චීන ජාතිකයන් පවසන්නේ ගවයන්, ඌරන් හා කුකුළන්ට වඩා සුනඛයන් වඩාත් මානුෂීය ආකාරයකට ඝාතනය කරන බැවින් ඔවුන්ගේ මස් අනුභවය ගැටලුවක් හෝ හිංසනයක් නොවන බවකි.

ඔවුන් එසේ සුනඛ මාංශවලට ගිජුව ප්‍රකාශ නිකුත් කළත්, මිනිසාගේ ළඟම හිතවතා ලෙස සැලකෙන සුනඛයන් අමානුෂික ලෙස ඝාතනයට ලක්වන මෙම ම්ලේච්ඡ උත්සවය මනුෂ්‍යත්වයට නොගැළපෙන්නක් බව පවසන්නෝ අති මහත්ය.

No comments:

Post a Comment