22 June 2017

යෝගා තුළින් ලෝකය ඉන්දියාවට සමීප වෙලා - මෝදි

 යෝගා අභ්‍යාස යනු නොමිලේ ලැබෙන රක්ෂණාවරණයක් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

අගමැතිවරයා මෙසේ පවසා සිටියේ ජූනි 21 දිනට යෙදුණු ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉන්දියාවේ ලක්නව් නගරයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති යෝගා වැඩසටහනකට සහභාගී වෙමිනි.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මෝදි පවසා සිටියේ ඉන්දියානු සම්ප්‍රදායන් හෝ සංස්කෘතීන් නොහඳුනන මෙන්ම, හිංදි භාෂාව කතා නොකරන ලෝකයේ බොහෝ රටවල ජනතාව පවා මේ වනවිට යෝගා අභ්‍යාස තුළින් ඉන්දියාවට සමීප වෙමින් සිටින බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මීට වසර තුනකට පෙර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෑම වසරකම ජූනි 21 වැනිදා ජාත්‍යන්තර යෝගා දිනයක් ප්‍රකාශයට පත්කෙරුණු අතර, මෙම යෝජනාවට ලෝකයේ බොහෝ රටවලින් යහපත් ප්‍රතිචාර හිමිව තිබුණි.

ඒ අනුව, මෙවර ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඉන්දියාව පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය වූ අතර, මෙම වැඩසටහන් සඳහා ජනතාව විශාල ලෙස පැමිණීම නිසා දිල්ලියේ ඇතැම් මාර්ග වසා දැමීමට පවා සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.

අගමැති මෝදි යෝගා අභ්‍යාස සඳහා කැපවූවෙකු ලෙස සැලකෙන අතර, ඔහු දිනපතාම යෝගා සඳහා කාලයක් වෙන්කර ගන්නා බවද කියැවෙයි. එමෙන්ම, වර්තමානය වනවිට ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල පවා යෝග අභ්‍යාස හා භාවනා ක්‍රම කෙරෙහි වැඩි නැඹුරුවක් දැකිය හැකිය.

No comments:

Post a Comment