07 June 2017

අයි.එස්. වහලියක වුණු නාදියාගේ කඳුළු කතාව

උතුරු ඉරාකයේදී, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී, දූෂණයට ලක් වී, ලිංගික වහලියක් ලෙස විකුණා දැමීමෙන් පසු, පණ බේරාගෙන ඉරාකයෙන් පලාගොස්, පසුව එක්සත් ජාතීන්ගේ තානාපතිවරියක බවට ද පත්වුණු යසීදි ගෝත්‍රික යුවතිය නාදියා මුරාද් වසර 3 කට පසු යළි සිය මවුරට වන ඉරාකය බලා පැමිණියාය.

නාදියාගේ යළි පැමිණීම ඉතා හැඟීම්බර සිදුවීමක් වුණු අතර, එය විදෙස් පුවත් සේවා අතරේ ද කැපී පෙනෙන පුවතක් බවට පත් විය. ඇයට ඉරාක රජයෙන් ද විශේෂ අනුග්‍රහයක් හිමිවන බව වාර්තා වේ. ඇයට උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය.

නාදියා මුරාද් උපත ලැබුවේ 1993 වසරේදීය. ඇය අදවනවිට ඇගේ යදීසි ගෝත්‍රික කතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මානව ක්‍රියාකාරිනියකි. නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ද ඇගේ නම යෝජනා විය. ඒ, පසුගිය 2016 වසරේදීය.

පසුගිය  සැප්තැම්බරයේ නාදියා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස පත් වූවාය. ලොව පුරා විසිරී සිටින යසීදි සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින ‘යස්ඩා’ සංවිධානයේ සහාය ද නොඅඩුව නාදියාට හිමිවෙයි.

අයි.එස්. ත්‍රස්තවාදීන් නාදියා මුරාද්ගේ ගමට කඩා වැදී ගමේ සටි පිරිස මරා නාදියා පැහැරගෙන ගියේ 2014 අගෝස්තුවේය. නාදියා පමණක් නොව, යසීදි කාන්තාවෝ රැසක් එම අවස්ථාවේ පටන් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියන් බවට පත්විය.

අද වනවිටත් යසිදි පමණක් නොව, අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලබන තරුණියන් ලිංගික වහලියන් ලෙස ජීවත් වන බව පැවැසෙයි. ඉරාක හමුදා අවස්ථා කිහිපයකදී එවැනි තරුණියන් බේරා ගත් බව ද වාර්තා විය.

(රොයිටර්)

No comments:

Post a Comment