07 June 2017

ලෝකයේ හොඳම හමුදාවේ මීහරක්ද සිටිය හැකියි : අමාත්‍ය මංගල සමරවීර


සාමසාධක කටයුතු සඳහා පිටත්කර යවන ලෝකයේ පිළිගත් විශිෂ්ට හමුදාවක් ශ්‍රී ලංකාවේ සිටියද, එම ලෝකයේ හොඳම හමුදාවේ මීහරක්ද සිටියහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

හමුදා නිල ඇඳුමක් හෝ සිවුරක් ඇඳ සිටියද වැරදි කළ අයට සමාවක් නොදිය යුතු බවත්, රටේ සහ සමස්ත හමුදාවේ කීර්තිනාමය රැකගත හැකිවන්නේ එසේ කිරීමෙන් පමණක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

හමුදාවේ සියලුදෙනාට දඬුවම් ලබා නොදෙන බව පැවසූ සරමවීර මහතා වැරදි කළ අයට පමණක් දඬුවම් ලබාදෙන බව කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග එක්ව මෙරට ස්වෛරීභාවයට හානිවන කිසිවක් සිදුකර නැතැයිද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෙරට ඉදිරි සංවර්ධනය වෙනුවෙන් යම් යම් යෝජනා සඳහා එකඟ වූ බවත්, එහිදී රටට අහිතකර කිසිදු කොන්දේසියකට යටත් නොවූ බවත් මංගල සමරවීර මහතා කීවේය.

මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවත්, ජිනීවා යෝජනාවල නිර්දේශ මොනවාදැයි කියවා බලන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
වත්මන් රජය රටේ ස්වෛරීභාවය හෝ හමුදාව පාවා නොදෙන බවත්, අතීතයේදී සිදුකර ඇති ආකාරයට හමුදාවේ සිටින වැරදි කළ අයට පමණක් දඬුවම් ලබාදීම අවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

No comments:

Post a Comment