25 June 2017

සෞදිය පැනවූ කොන්දේසි පිළිගන්නේ නෑ - කටාරය

 කටාරයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සඳහා සෞදිය ප්‍රමුඛ අරාබි රටවල් කිහිපයක් ප්‍රකාශයට පත්කළ ඉල්ලීම් 13 කිසිසේත්ම සාධාරණ හෝ ක්‍රියාවට නැංවිය නොහැකි ඉල්ලීම් එකතුවක් බව පවසමින් කටාර විදේශ අමාත්‍යවරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.

කටාර් රාජ්‍ය ඉස්ලාමීය ත්‍රස්තවාදයට පහසුකම් හා අරමුදල් සපයන බවට චෝදනා නඟමින් සෞදිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය ආදී රටවල් එකතුව එරටට සමග පැවති සියලු සබඳතා අත්හරිමින්, කටාරය වෙත සම්බාධක පැනවීය.

කෙසේ වෙතත්, මෙම සම්බාධක ඉවත්කිරීමට නම් දින 10ක් තුළ ඉටුකළ යුතු ඉල්ලීම් 13ක් එම රාජ්‍යයන් එකතුව විසින් කටාරය වෙත ඉදිරිපත් කර තිබුණේ දින කිහිපයකට පෙරදීය.

ඉරානය සමග සබඳතා අඩු කිරීම, කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත්කිරීම, මුස්ලිම් සහෝදරත්වය සංවිධානය හා සබඳතා අත්හැරීම, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන රටවල් හතරේ වැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබානොදීම හා දැනට ලබාදී ඇති අය පිටුවහල් කිරීම, ත්‍රස්තවාදයට අනුබලදීම යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් මෙකී රටවලට භාරදීම, ඇමෙරිකාව විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇති ඕනෑම සංවිධානයකට මූල්‍යාධාර ලබාදීම වහාම නතර කිරීම, සෞදිය ප්‍රමුඛ මෙම රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට සැපයූ මූල්‍යාධාර පිළිබඳ සවිස්තර වාරතා ලබාදීම, අල්-ජසීරා, අරාබියා21 සහ මිඩ්ල් ඊස්ට් අයි ඇතුළු අනෙකුත් මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම, සිය රටවලට වන්දි මුදලක් ගෙවීම යන ඉල්ලීම් ඒ අතර විය.

මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන කටාර විදේශ ඇමතිවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය දැඩි අවධානයක් යොමුකළ බවයි.

එමෙන්ම, ඔවුන් ඉල්ලා ඇති ඉල්ලීම් දෙස බැලීමේදී එහි ත්‍රස්තවාදයට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් දැකිය නොහැකි බවද විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment