25 June 2017

අන්තර්ජාලයට ස්වයං නියාමනයක්

අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ ස්වයං නියාමනය සඳහා නිර්ණායක හඳුන්වා දීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මීට පෙර අදාළ කරුණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවක් පදනම් කර ගනිමින් මේ නව රීති පද්ධතිය සකස් කිරීමට කටයුතු කරනු ඇතැයි ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ නිර්ණායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ 14 වන වගන්තියේ දැක්වෙන භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද, ලංකාව ද පාර්ශ්වයක් වන සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 19 වන වගන්තියේ සඳහන් අනුරූප නිදහස පිළිගනිමින් සහ එය ආරක්ෂා කිරීම අවධාරණය කරමින් ද, වගකීමෙන් යුතු මාධ්‍යකරණයක් සඳහා සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 20 වන වගන්තියේ සඳහන් හරය මත පදනම් ව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.ජාතික, ජනවාර්ගික හෝ ආගමික වෛරය ඉස්මතු වන ආකාරයේ ප්‍රවෘත්තිකරණයෙන් වැළකී සිටීමේ වැදගත්කම්, ජාතීන්, ජනවර්ග සහ ආගමික කණ්ඩායම් මෙන් ම සමාජයේ පුද්ගලයන් අතර වෙනස්කම් ඇති කිරීමට ආධාර අනුබල දෙන ප්‍රවෘත්තිකරණයෙන් වැළකී සිටීම, ජාතීන්, ජනවර්ග සහ ආගමික කණ්ඩායම් අතර හිංසනයන් ඇති වන ආකාරයේ වාර්තාකරණයෙන් වැළකී සිටීම, ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය යුද්ධයකට පටලවන ආකාරයේ ප්‍රවෘත්තිකරණයෙන් වැළකී සිටීම, ශ්‍රී ලංකා ජාතික රාජ්‍යයේ රාජ්‍ය නායකයාගේ කීර්තිනාමය සහ යහපැවැත්මට හානි කරවන ප්‍රවෘත්තිකරණයෙන් වැළකී සිටීම ඇතුළු නිර්ණායක අටක් මෙසේ ඉදිරිපත් කිරීමට යෝජිත ය.

 මෙහි ප්‍රවෘත්තිකරණය යනුවෙන් අදහස් කෙරෙන්නේ තමන් විසින් නිෂ්පාදනය කරන ලද හෝ උපුටා ගන්නා ලද පුවත් යන දෙවර්ගය ම බව ද සඳහන් කිරීමට නියමිත ය.

(sathhanda)

No comments:

Post a Comment