12 July 2017

දූෂණ වංචා විමර්ශන නඩු ප්‍රමාද රාජපක්ෂවරුන් බේරා ගන්නද?

වසර දෙකහමාරක් වියැති සන්ධානය, වරෙක ජාතික එක්සත් රජය ලෙස හඳුන්වාදෙනු ලැබූ වත්මන් පාලන තන්ත්‍රය ක්‍රමයෙන් බිදී යමින් තිබෙන බවට පැහැදිලි සංඥාවක් පසුගිය අගහරුවාදා ජනපති ලේකම් කාර්යාලයේ දී පැවැති සතිපතා කැබිනට් මණ්ඩල හමුවේ දී නිකුත් විය.අතිශය කෝපයට පත්ව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන, වචන පාලනයක් ගැන පවා අවධානය යොමු නොකරමින් ඔහුගේ රජයේ අනෙක් පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂය වෙත සෘජුව චෝදනා කළේය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඔහුගේ හිතෛශීන් සහ පැවැති රජයේ ඉහළ රාජ්‍ය නිළධාරීන්ට චෝදනා නැගී ඇති වංචා, දුෂණ හා විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ වුවමනාවෙන්ම ප්‍රමාද කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනපති සිරිසේන පැවසුවේ ය.“මම දන්නවා මේවා පත්තරවල පළවෙයි කියලා.ඒකට කමක් නැහැ,“ ඔහු කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ද වන ජනපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ පොලිසිය හා නීතිපති ජනරාල්වරයාගේ දෙපාර්තමෙන්තුව තමන් වෙත පවරා දී තිබුණේ නම්, මාස තුනක් ඇතුළත ප්‍රතිඵල පෙන්වීමට හැකිව තිබූ බවය.වර්තමානයේ මෙම ආයතන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් දෙදෙනකු යටතේ පවතින අතර, ජනපතිවරයාගේ ප්‍රකාශය පැහැදිලිවම එම ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබද කනගාටුව පළකිරීමක් විය.එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින නිසාවෙන්ම මෙම ආයතන කෙරේ ජනපතිවරයාගේ සෘජු සම්බන්ධයක් නැත.කෙසේවුවත් සිරිසේනගේ ප්‍රකාශයෙන් පසු බොහෝ ගැටලු පැන නැගිණ.පැය කිහිපයක් ගතවීමට මත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව වූයේ එයය.ඒ සම්බන්ධයෙන් වෙන්වෙන්ම අදහස් දැක්වීම හාම, ජනපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළේ ඔහු අධික පීඩනයකට ලක්ව සිටින නිසා ද, එසේත් නොමැතිනම් දිනෙන් දින පැන නගිමින් තිබෙන ගැටලු ඉදිරියේ ඔහු කොටුවී සිටින නිසා ද, වැනි පැනයන් ඔවුන් අතරේ මතුවිය.

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ජනපතිවරයා මෙවැනි වාග් ප්‍රහාරයක් එල්ල කළේ එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට්ටුවේ අවධානයට යැයි ලියැවිල්ලක් ඉදිරිපත් කිරීමත් සමගය.පසුගිය ජූනි මස 30 වැනිදා ධූර කාලය අවසන් වූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අනාගතය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අදහස් විමසීමෙන් පසු සුදුසු තීරණයක් ගැනීමට ඔහුට අවැසි විය.

කැබිනට් තීරණයකට අනුව 2015.02.20 වැනිදා පිහිටැවුනු දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ කාර්යය වූයේ බරපතල ගණයේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමත්, ඒ හරහා අදාළ විමර්ෂණ ආයතනයන්ගේ කාර්යය පහසුකරණය කිරීමත් බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ලියැවිල්ලේ සඳහන් විය.

“ 2016.11.22 වැනිදා ගැනුණු කැබිනට් මණ්ඩල තීරණ අංක 16 2403 702 041 - 1 අනුව, 2017.06.30 වැනිදා දක්වා එම ලේකම් කාර්යාලයේ සේවා කාලය දීර්ඝ කිරීමට තීරණය කැරිණි.“

“ දූෂණ මර්දනය පිළිබද කැබිනට් උප කමිටුවේ සේවය වෙනුවෙන් දූෂණ මර්දන ලේකම් කාර්යාලය පිහිටැවින.එයට අමතරව ලැබුණු පැමිණිලි, පොලිසිය, මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම වැනි ආයතනයන් වෙත යොමු කිරීමේ කටයුතුවල ද දූෂණ මර්දන ලේකම් කාර්යාලය නියැළී සිටියේ ය.“

“ වර්තමානයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය පූර්ණ වශයෙන්ම ක්‍රියාකාරීව පවතින නිසා දූෂණ මර්දන ලේකම් කාර්යාලය ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු ද, නැති ද, යන්න සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව ඇත.ඒ සම්බන්ධයෙන් “සුදුසු තීරණයක්“ ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත මෙසේ ඉදිරිපත් කැරේ.“ අගමැතිවරයාගේ ලියැවිල්ල කැබිනට් මණ්ඩල අවධානයට යොමු වූයේ එදින න්‍යාය පත්‍රයේ බොහෝ කරුණු සාකච්ඡා කොට අවසන්ව තිබූ අවස්ථාවකය.සිංහලෙන් කතා කළ ජනපති සිරිසේන දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ ධූර කාලය දීර්ඝ කිරීමේ අරමුණ කුමක්දැයි විමසුවේ ය.එයට පිළිතුරු දුන් වික්‍රමසිංහ, මෙම ලේකම් කාර්යාලය තැපැල් කාර්යාලයක් ලෙස කටයුතු කරමින් - මහජන පැමිණිලි අදාළ රාජ්‍ය විමර්ෂණ ආයතන වෙත යොමු කරමින් සිටි බව පැවසුවේ ය.
 
රාජපක්ෂවරුන් සමග ගනුදෙනුවක්

ජනපතිවරයා කෝපයට පත්ව සිටින බව පැහැදිලිව පෙනිණ.එදින කැබිනට් හමුවට සම්බන්ධ ආරංචි මාර්ගයක් පැවසූ ආකාරයට ජනපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ සහ තවත් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දෙස නෙත් යොමමින් අදහස් දැක්වීමේ යෙදී තිබේ.මහින්ද රාජපක්ෂ බලයට පත්වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අයෙකුට ගැටලුවක් ඇති නොවන බව ජනපතිවරයා පැවසුවේ ය.

“ඔයාලට රාජපක්ෂලාගේ මිනිස්සු එක්ක ගනුදෙනුවක් තියෙනවානේ,“ යැයි ඔහු කීවේ ය.තමන් නැවත බලයට පත්වුවහොත් පසු නොබසින බවත්, දිගටම රට පාලනය කරන බවත්, මෑතක දී හිටපු ජනපතිවරයා පවසා තිබිණ.ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව කිසිදු බලවත් ගණයේ විමර්ෂණයක් පැවැත්වෙන්නේ නැත.එසේ පැවැත්වෙමින් තිබෙන විමර්ෂණයන් ද ඉතාම ප්‍රාථමික මට්ටමේ ඒවාය.එක්සත් ජාතික පක්ෂය කලින් කලට විමර්ෂණ ආයතන වෙත පීඩනය එල්ල කිරීම හමුවේ විමර්ෂණ කටයුතු ප්‍රමාද වීම සහ සම්පූර්ණයෙන්ම අත්හිටැවීම මෙවන් තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන හේතුවයි.මේ දක්වා ජනපතිවරයා තමන්ට සීමා කරගෙන සිටි සිතුවිලි, කරළියට පැමිණියේ එලෙසය.

තමන් සමග සිටි පුද්ගලයින්ට එරෙහිව විමර්ෂණ දියත්ව තිබීම අතිශය කනගාටුදායක බව ජනපති සිරිසේන පැවසුවේය.සුනාමි කටයුතු සඳහා විදේශයකින් ලබාදෙන ලද වාහනයක් අවභාවිතා කළේ යැයි රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා සම්බන්ධයෙන් ද, තම අමාත්‍යංශයේ රැකියාවක් තම දියණියට ලබාදුන්නේ යැයි හිටපු ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සම්බන්ධයෙන් ද, පැවැත්වෙන විමර්ෂණ ඒ සදහා උදාහරණයන්ය.මෙවැනි කුඩා සිදුවීම් සම්බන්ධයෙන් පමණක් විමර්ෂණ පැවැත්වෙන බව ජනපතිවරයා පැවසුවේ ය.

සෘජුවම ලැබුණු පැමිණිල්ලකින් පසු චෝදනා ගොනු කොට අමාත්‍ය ෆවුසි සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීමට පියවර ගත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම බව මෙහිදී සඳහන් කළ යුතුය.

“රාජපක්ෂලා හෝ ඒ අයත් එක්ක හිටපු අනෙක් අය ගැන කොහොමද?“ ජනපති සිරිසේන විමසුවේය.එයට පිළිතුරු දුන් අගමැති වික්‍රමසිංහ, රාජ්‍ය විමර්ෂණ ආයතන වන අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව සහ මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය පැවැත්වූ විමර්ෂණ 76ක ලිපිගොනු ඒවා සම්බන්ධයෙන් වන ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමෙන්තුව වෙත යොමුකර තිබෙන බව පැවසුවේ ය.

මෙම ආයතනවලට සම්බන්ධ නිළධාරීන් තමන් හමුවට පැමිණ, ඉහළින් එල්ල වෙමින් තිබෙන පීඩනය නිසා විමර්ෂණ කටයුතු ඉදිරියට දියත් කළ නොහැකි යැයි පාපොච්ඡාරණය කර තිබෙන බව ජනපති සිරිසේන කීවේ ය.මේ හමුවේ තරමක් කෝපයට පත්වූ අගමැතිවරයා, එම නිළධාරීන් කවුරුන්දැයි නම් කරන ලෙස පවසා සිටියත්, ජනපති සිරිසේන ඊට පිළිතුරු නොදුන්නේ ය.හිටපු ජනපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණය ගැන සදහන් කළ ඔහු, වර්තමානයේ එහි කටයුතු මග නැවතී තිබෙන බව පෙන්වා දුන්නේය.නීතිපති දෙපාර්තමෙන්තුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගුවන්විදුලි නියාමන කොමිෂන් සභාවේ මුදල් භාවිතා කරමින් සිල් රෙදි මිලයට ගෙන තිබීමක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණය උදාහරණයකට ගත්තේ ය.ප්‍රශ්න කිරීම්වලදී එසේ සිල් රෙදි මිලයට ගත්තේ හිටපු ජනපති රාජපක්ෂගේ උපදෙස් පරිදි බව වීරතුංග ප්‍රකාශ කර ඇතත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාගෙන් පෙරළා ප්‍රශ්න කිරීමට කිසිදු පියවරක් මේ දක්වාම ගෙන නොමැති බව ඔහු කීවේ ය.

එක්සත් ජාතික පක්ෂය සහ රාජපක්ෂවරුන් අතර ගනුදෙනුවක් තිබෙන බව පෙන්වා දීමට ගත් උත්සාහයක් මෙන් ජනපතිවරයා අනතුරුව සිහිකැඳවූයේ ජනපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසු 2015 ජනවාරි මස 09 වැනිදා සිදුවීමකි.මලික් සමරවික්‍රම (එක්සත් ජාතික පක්ෂයේ සභාපති), සහ අගමැතිවරයා හිටපු ජනපති රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යුද හමුදා ක්‍රීඩාංගනයේ සිට මැදමුදලන දක්වා ගෙන යෑමට ගුවන්හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ලබාදුන් ආකාරය ඔහු සිහිපත් කළේ ය.තමා පරාජිතයා වූවා නම් කුමක් විය හැකිව තිබුණේදැයි ඔහු විමසුවේ ය.

ජනපතිවරණයෙන් පසු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනපති සිරිසේන පවසා තිබුණේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කැරුණු දින රාත්‍රියේ ඔහු දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ වත්තකට වී සැගවී සිටි බවයි.ජනපතිවරණයේ පරාජිතයා වූවා නම් තමා ඇතුළු තම පවුලේ සාමාජිකයන් සියලුමදෙනා අඩි හයක් පස් යට වැළලීයන්නට ඉඩ තිබුණු බව ද ඔහු කියා තිබුණි.කැබිනට් හමුවෙන් පසු මලික් සමරවික්‍රම වෙනත් කාරණයක් සදහා ජනපතිවරයා හමුවට ගිය අතර, “සර් ට කැමති නම් මගේ අමාත්‍යංශය ගන්න“ යැයි ඔහු පවසනු එතැන සිටි නිළධරයිනට ඇසී ඇත.නමුත් එය ජනපතිවරයාගේ අවධානයට ලක්ව ඇති බවක් දැනගැනීමට නොහැකි විය.
 
ෆොන්සේකාගෙන් රාජපක්ෂට ප්‍රහාරයක්

ප්‍රමුඛ පෙළේ පුද්ගලයින්ට එරෙහිව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු පියවරක් ගෙන නොමැත්තේ මන්දැයි ජනපති සිරිසේන නැවත වරක් විමසුවේ ය.මෙය කිසිසේතම පිළිගත නොහැකි තත්ත්වයක් බව පැවසූ ඔහු, පොලිසිය සහ නීතිපති දෙපාර්තමෙන්තුව තමා වෙත පවරා දී තිබුණේ නම් මාස තුනක් ඇතුළත සියලුම වරදකරුවන් හසුකරගැනීමට හැකිව තිබුණු බව කීවේ ය.සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී අදහස් දක්වමින්, නීතිය හා සාමය පිළිබද මෙන්ම එම විෂය පථය යටතේ පොලිසියේ ක්‍රියාකාරීත්වය ද නියාමනය කරන අමාත්‍ය සාගල රත්නායක මහතා අවස්ථා කිහිපයකදීම ගාමිණී සෙනරත් සමග අවන්හලක හිද රාත්‍රී ආහාරය ගන්නා අයුරු දැකගන්නට හැකිව තිබෙන බව පැවසුවේ ය.රත්නායක එය තරයේම ප්‍රතික්ෂේප කළේය.

සාකච්චාවට සම්බන්ධ වූ කලාපීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට චෝදනා කරමින්, නීතිපති දෙපාර්තමෙන්තුවට යොමු කැරෙන විමර්ෂණවල කටයුතු කෙරේ ඔහු බාධා පමුණුවමින් සිටින්නේයැයි පැවසුවේ ය.හොද මිනිසකු වන වත්මන් නීතිපතිවරයා සම්බන්ධයෙන් තමාගේ කිසිදු විවේචනයක් නොමැති බව ෆොන්සේකා කීවේ ය.එම චෝදනාව ප්‍රතික්ෂේප කළ විජයදාය, තමා එවැනි බාධාවක් සිදු නොකළ බවද, අවස්ථා එකකදී හෝ දෙකකදී පමණක් නිල අවශ්‍යතාවන් සදහා නීතිපති දෙපාර්තමෙන්තුවෙන් ඇතැම් තොරතුරු ඉල්ලා සිටි බවද, නමුත් එම තොරතුරු තමන් වෙත නොලැබුණු බවද, කියා සිටියේ ය.නීතිපති දෙපාර්තමෙන්තුව තම අමාත්‍යංශය යටතට අයත් වූවත් එය තමන්ගේ පාලනයට යටත් නොවන බව ඔහු කීවේ ය.නීතිපතිවරයා පත් කළේ ව්‍යවස්ථා කවුන්සිලය බව ද විජයදාස සිහිපත් කළේය.රවී කරුණානායක මහතා මෙහිදී මැදිහත් වෙමින්, “ ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් ගැන කොහොමද?, හිටපු මහ බැංකු අධිපති අජිත් නෙවාඞ් කබ්රාල් ගැන කොහොමද?, ගාමිණී සෙනරත් ගැන කොහොමද?, මේ අය වෙනුවෙන් ඔබ මැදිහත් වුනේ නැතිද?“ යැයි විමසුවේ ය.ජනපති සිරිසේන දැක්වූ අදහස් වහාම සැලකිල්ලට ගත යුතුව තිබෙන බව කී කරුණානායක, මුල් පෙලේ වංචා හා දූෂණ කටයුතු සම්බන්ධයෙන් රජය අනුගමන කරන අලස පිළිවෙත හමුවේ ජනතාව නොසන්සුන්ව සිටින බවද පැවසුවේය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විමර්ෂණ කටයුතු සම්බන්ධව දීර්ඝ කාලයක් ගතවීම සාධාරණීකරණය කරමින්, එසේ කාලය ගතවීමට හේතුව ඇතැම් විමර්ෂණයක් අතිශය සංකීර්ණ වීම යැයිද, ඒ නිසාම වරදකරුවන් කොටු කරගැනීම දුෂ්කරවී ඇතැයිද, පැවසුවේ ය.ඊජිප්තුවේ හිටපු ජනපති හොස්නි මුබාරක් සම්බන්ධයෙන් එරට පැවැත්වෙමින් තිබෙන විමර්ෂණ කටයුතු ඔහු බලයෙන් පහවූ පසු අවුරුදු කිහිපයක් ගතව තිබෙන වර්තමානය දක්වාම පැවැත්වෙන බව සමරවීර ඊට උදාහරණයක් ලෙස ගෙනහැර දැක්වූයේ ය.මෙහිදී හඩ අවදි කළ බස්නාහිර පළාත් සංවර්ධන සහ මෙගාපොලිස් අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා, මුබාරක් සම්බන්ධයෙන් වූ විමර්ෂණ ඔහුට පසුව බලයට පත්වූ මොහොමඞ් මොර්සි පාලන සමයේ දියත් කැරුණු බව සත්‍ය වුවත්, අනතුරුව බලය දිනා ගත් ජෙනරල් අබ්දෙල් ෆටාහ් සිසිගේ පාලනය යටතේ එම කටයුතු ප්‍රමාද වෙමින් තිබෙන හෝ සම්පූර්ණයෙන්ම අතහැර දමන ලද තත්ත්වයකට පත්ව තිබෙන බව පෙන්වා දුන්නේ ය.අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කරගත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ජනපතිවරයාගේ ප්‍රකාශය කෙරේ අවධානය යොමු කරමින් - මෙවන් තත්ත්වයක් යටතේ රජයේ ප්‍රධාන පක්ෂ දෙකටම පළාත් පාලන සහ පළාත් පාලන ආයතන මැතිවරණයන්ට මුහුණදිය හැක්කේ කෙසේදැයි විමසුවේ ය.

දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ නිර්මාතෘ වන්නේ අගමැති වික්‍රමසිංහය.2015 ජූලි මස 2 දාතමින් යුතු කැබිනට් පත්‍රිකාවෙන් මෙම කාර්යාලය හදුන්වාදුන් ඔහු, බරපතළ වංචා, මුල්‍ය අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් වන විමර්ෂණ කටයුතු සම්බන්ධීකරණය කිරීම එහි ප්‍රධාන කාර්යභාරය ලෙස හදුන්වාදුන්නේ ය.එය ක්‍රියාත්මක වූයේ ජනපතිවරයා සභාපතීත්වය දරන ජාතික විධායක කවුන්සිලය යටතේ වූ, අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානීත්වයෙන් ක්‍රියාත්මක වන කැබිනට් උපකමිටුවක් යටතේය.මෙම කමිටුව ප්‍රගති සමාලෝචන කමිටුවක් ලෙස ද ක්‍රියාත්මක විය.ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා මෙහි සාමාජිකයකු වූ අතර ඔහු පසුව ඉල්ලා අස්විය.අනතුරුව ගෙවුණු මාස කිහිපයේ දී මෙම කමිටුවේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් පහළ බැස්සේය.

දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ කාර්යභාරය විමර්ෂණ ආයතනයන්ගේ කටයුතුවලට මහත් සහයක් වූ බව මෙහිලා එම කාර්යාලය වෙනුවෙන් සදහන් කළ යුතුමය.විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කළ විද්වතුන්ගෙන් එය සමන්විත විය.කාර්යාලයේ කටයුතු මෙහෙයවූයේ නියෝජය සොලිසිටර් ජනරාල්වරයෙකි (තුසිත මුදලිගේ).ජනතාවගේ පැමිණිලි අදාළ විමර්ෂණ ආයතන වෙත යොමු කැරුණේ එම පැමිණිලි මෙම කාර්යාලය වෙත ලැබීමෙන් පසුවය.

දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය නොයෙක් කණ්ඩායම්වල ඉලක්ක බවට පත්වූවත් සත්‍ය වශයෙන්ම ඔවුන්ට එරෙහිව නැගුණු චෝදනා වේ නම් ඒ ඉතාම අල්ප වශයෙන්ය.දූෂණ මර්දන ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරයේ අගමැති ලේකම් කාර්යාලය අතර සබදතා ක්‍රමයෙන් පරිහානියට පත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ සියලු පරිපාලන කටයුතු අගමැති ලේකම් කාර්යාලය වෙත පවරා ගැනිණ.අගමැති ලේකම් කාර්යාලයේ රථවාහන මෙම ලේකම් කාර්යාලයේ භාවිතයට ගැනෙන බවට නැගුණු චෝදනාවක් මෙයට හේතුව විය.නමුත් පසුව පැහැදිලි වූයේ මෙම චෝදනාව පදනම් විරහිත බවය.දූෂණ මර්දන ලේකම් කාර්යාලය - යොමු කිරීමේ ආයතනයක් ලෙස කටයුතු කළ අතර වෙනත් කිසිදු කටයුත්තකට එය හවුල් නොවීය.බොහෝ පැමිණිලි මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට යොමු කැරිණ.මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය අරමුණු පහක් මත ක්‍රියාත්මක වන අතර පහත දැක්වෙන්නේ ඒවාය,

1. බරපතල මුල්‍ය වංචා සහ පදනම් නොමැති මෙගා ව්‍යාපෘති පිළිබද මහජන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ෂණ දියත් කිරීම
2.මහජන මුදල් හා දේපළ හා බැඳුණු මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ෂණ දියත් කිරීම
3.ජාතික ආර්ථිකයට, ජාතික ආරක්ෂාවට, සෞඛ්‍යයට සහ පරිසරයට හානි කරමින් සිදුකැරෙන මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ෂණ දියත් කිරීම
4.අවනීතිය සහ බලයේ අවභාවිතය සම්බන්ධයෙන් විමර්ෂණ දියත් කිරීම
5.මුදල් විශුද්ධිකරණය, ත්‍රස්ත කටයුතුවලට ආධාර කිරීම, සහ මහා පරිමාන නීති විරෝධී මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණ දියත් කිරීම

පසුගිය අගහරුවාදා කැබිනට් මණ්ඩල හමුව නිමාවත් සමග රට පාලනය කරන සන්ධානයේ කටයුතුවල තිත්ත ඇත්ත රටට නිරාවරණය විය.ඇතැම් කණ්ඩායම් රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණවල කටයුතු ප්‍රමාද කරමින් සිටින්නේයැයි බහුතරයක් ශ්‍රී ලංකා ජනතාව අතර පළව තිබූ මතය, අන් කිසිවකු නොව ජනපති සිරිසේනම සහතික කළේය.ඔහු පැහැදිලි ලෙසම සදහන් කළ පරිදි, ඒ සම්බන්ධයෙන් සාක්කි ලබා දී ඇත්තේ එම විමර්ෂණ කටයුතු මෙහෙයවන ඉහළ නිළධාරීන්ය.මේ සම්බන්ධයෙන් දැනුම්වත් නිල ආරංචි මාර්ගයක් සදහන් කළ පරිදි, මෙසේ විමර්ෂණ කටයුතු ප්‍රමාද කිරීම අරබයා නිළධාරීන් වෙත නියෝග පනවමින් සිටින පුද්ගලයින් දැනටමත් හදුනාගෙන ඇත.
 
රාජිතගේ සහය ජනපතිට

රාජපක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඔහුගේ හිතෛශීන් සහ ඔහුගේ පාලන සමයේ සිටි රජයේ මුල් පෙළ සාමාජිකයන් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණයන්ගේ ප්‍රගතිය පිළිබද සෑහීමකට පත්විය නොහැකියැයි ජනපති සිරිසේන ප්‍රමුඛ ඔහුගේ ඇමති මණ්ඩල තීරණය කිරීම හමුවේ, අගමැති වික්‍රමසිංහ ඉදිරිපත් කළ ලියැවිල්ලට වැඩි අවධානයක් යොමු නොවීය.අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලියැවිල්ලකට එවැනි සැලකිල්ලක් හිමිවූ ප්‍රථම අවස්ථාව එය විය.වත්මන් විමර්ෂණ කටයුතු කෙරේ ධනාත්මක ආකල්පයකින් අදහස් දැක්වූයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පමණකි.මහා පරිමාන වංචා හා දූෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන්, පැවැත්වෙන විමර්ෂණ කටයුතු ප්‍රමාද කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්යැයි යන චෝදනාව ද මෙහිදී කරළියට පැමිණියේය.පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න, ජනපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී කළ ප්‍රකාශය පදනමේ සිට අදහස් දැක්වූයේ ය.පහත දැක්වෙන්නේ ඊට අදාළව මාධ්‍ය සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ පැනයන් සහ ඒවාට අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරුය.
 
ප්‍රශ්නය - පොලිසිය හා නීතිපති දෙපාර්තමෙන්තුව පවරාගත්තොත්, මාස තුනක් ඇතුළත දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ කටයුතු අවසන් කරන්න පුලුවන්ය කියා ජනපතිවරයා කීවා ද?
පිළිතුර - පොලිසියේ ඇති විමර්ෂණ ආයතන, ඒ කියන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව, පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය යටතේ පවතිනවා කියලයි ජනපතිවරයා කිව්වේ.භාරදුන්නොත් ඔහු මාස තුනෙන් වැඩ පෙන්වාවි.
 
ප්‍රශ්නය - ඉතින් ඔබේ ප්‍රතිචාරය කුමක් ද?
පිළිතුර - මම කිව්වා ජනපතිවරයා එම ආයතන පවරා ගත යුතුය කියා.සියලුම විරෝධතා නවතීවි.අපරාධ සම්බන්ධ හැම දෙයක්ම ජනතාව දන්නවා.
 
ප්‍රශ්නය - ප්‍රධාන පෙළේ විමර්ෂණ හැටියට ක්‍රියාත්මක වන්නේ  අමාත්‍ය ෆවුසිට සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි විමර්ෂණ නිසා, විමර්ෂණ ආයතනයන් ක්‍රියාත්මක වන්නේ ඒකපාර්ශවීයව බව ඔබ කියනවා ද?
පිළිතුර - දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිහිටැවුනේ මහා පරිමාන දූෂණ ගැන විමර්ෂණය කරන්න.නැතුව සුළු පරිමාන දේවල් ගැන හොයන්න නෙවෙයි.
 
ප්‍රශ්නය - විමර්ෂණ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට එරෙහිව.
පිළිතුර - බොහෝ අවස්ථාවලදී, ඔව්.
 
ප්‍රශ්නය -  දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අවධානය බොහෝ චෝදනා කෙරේ යොමුවුනා.නමුත් ඒ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමක් ගැන අපට අහන්න ලැබුණේ නැහැ.
පිළිතුර - බොහෝ වෙලාවට සිදුවන්නේ එම චෝදනා සම්බන්ධ කටයුතු මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට හෝ අල්ලස් කොමිසමට භාරදෙන එක.කමිටුවේ කටයුතු ගැන වැඩි අවධානයක් යොමුව නොමැති බව මමත් පිළිගන්නවා.
 
ප්‍රශ්නය - හිටපු ජනපතිවරයාගේ කාර්යමණඩල ප්‍රධානී ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ මන්දැයි ජනපතිවරයා ප්‍රශ්න කර ඇති බව දැනගන්නට තිබෙනවා.එය සත්‍යයක් ද?
පිළිතුර - ඔව්.අපිත් ඒ ගැන ප්‍රශ්න කළා.මැතිවරණ සමයේ දී ගෝණි ගණන් මුදල් තැන්පත් කරපු හැටි ගැන ඔහුගේ රියැදුරා පවා පාපොච්ඡාරණය කර තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබද විස්තරාත්මක හෙළිදරව්වක් 2016 දෙසැම්බර් මස 4 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් සිදුකැරිණ.වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින් සහ විපක්ෂයේ සාමාජිකයන් අතර පවතින බවට සැක මතුව තිබෙන සම්බන්ධතා ගැනත්, එහි ප්‍රතිඵලක් නිසාවෙන් දෝ, ඇතැම් මුල් පෙලේ පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණයන් පිළිබද රහසිගත වාර්තා එම පුද්ගලයින් අතටම ලැබෙන තත්ත්වයක් ඇතිව තිබීම පිළිබදව විමර්ෂණ ආයතනයන්ගේ නිළධාරීන් සිදුකරන පැමිණිලි ගැනත්, එහි සදහන් විය.

සිරිසේනගේ අවුල


පොලිසිය සහ නීතිපති දෙපාර්තමෙන්තුව තමන් අත පැවැතියේ නම් වරදකරුවන් අතඅඩංගුවට ගැනීමට හැකිව තිබූ බවට ජනපති සිරිසේන කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලයන් ඉදිරියේ දැඩි විවේචනයට ලක්විය. විධායක ජනපතිවරයා ලෙස සියලු බලතල අතැතිව සිටින ඔහුට එසේ ආයතන පවරා ගැනීමට අවශ්‍ය වූයේ නම් එය පහසුවෙන්ම කළ හැකිව තිබූ බවත්, වෙනත් පුද්ගලයින් පත් කිරීමට අවශ්‍ය වූයේ නම් එයද පහසුවෙන්ම කළ හැකිව තිබූ බවත්, බලයට පැමිණීමට පෙර දුන් පොරොන්දු ඉටු කිරීමට පවා තමන්ට නිල වශයෙන්ම හිමි බලය භාවිතා කිරීමට ඔහු පැකිළෙන බවත්, ආදී ලෙස ජනපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වනු දැකගත හැකිවිය.මෙම තර්කය පදනම් සහගතය.නමුත් කැබිනට් මණ්ඩලයේ දී සිදුකළ ප්‍රකාශයත් සමග ජනපති සිරිසේන තමන් මුහුණදී සිටින තත්ත්වය ප්‍රසිද්ධියේ අනාවරණය කර ඇත.ආයතන පවරා ගැනීමට ඔහු කැමැති වුවත්, එම ආයතන එක්සත් ජාතික පක්ෂය වෙත ලබාදීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග ආරම්භයේ දී ඇතිකරගත් එකගතාවය අනුව එසේ කටයුතු කළ නොහැකි බව ඔහු පෙන්වා දී තිබේ.මෙය ඔහුගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගේ නොසතුටට හේතුවී ඇත.ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂය කෙරේ මෘදු පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව ඔවුන්ගේ හැගීමයි.එම ඇතැම් සාමාජිකයන් විවිධ වාර්තා මාධ්‍ය වෙත ලබාදෙමින්, ඔවුන් මෙම වසර අවසානය වන විට රජයෙන් ඉවත්වන බව පවසමින් සිටින්නේ මේ නිසාය.

කැබිනට් සංශෝධනය පසුගියදා දක්වාම ප්‍රමාද වීමට තුඩු දුන්නේ ද මෙම කාරණයමය.දැන් අනාවරණයව තිබෙන ආකාරය එක්සත් ජාතික පක්ෂය දරමින් සිට කැබිනට් තනතුරු හතරක් සංශෝධනය කිරීමට ජනපති සිරිසේනට අවශ්‍යව තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන එකගතාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම යටතේ මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් සමග ඇතිකරගැනීමට ද ඔහු කටයුතු කර ඇත.නමුත් කැබිනට් සංශෝධනයේ දී තනතුරු වෙනස් වූයේ රවී කරුණානායකගේ සහ (එවක මුදල් ඇමති, වර්තමාන විදේශ කටයුතු ඇමති) මංගල සමරවීරගේ (එවක විදේශ කටයුතු ඇමති, වර්තමාන මුදල් හා ජනමාධ්‍ය ඇමති) පමණි.සංශෝධනය කළ යුතුයැයි ජනපතිවරයාට අවශ්‍ය වූ අනෙක් අමාත්‍යධූර දෙක ද දැන් හෙළි කළ හැකිය.නීතිය හා සාමය සහ අධිවේගී මාර්ග සහ උසස් අධ්‍යාපන යනු එම අමාත්‍යංශයන්ය.නමුත් ඒවායේ තනතුරු සංශෝධනයක් සිදුනොවූයේ සිරිසේනට සහය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයින් පවා මවිතයට පත් කරවමිනි.

එක්සත් ජාතික පක්ෂය කෙරේ මේ දක්වා අනුගමනය කරමින් සිටි පිළිවෙත හදිසියේම වෙනස් කිරීමට ජනපතිවරයා කටයුතු කළේ ඇයි? මේ සම්බන්ධයෙන් දැනුම්වත් ආරංචි මාර්ගයන්ට අනුව එයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ සිංහල බහුතරයක් සිටින පළාත්වල දියත් කැරුණු සමීක්ෂණයකි.එහිදී මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරේ ජනතා ප්‍රසාදය ක්‍රමයෙන් වියැකී යමින් තිබෙන බවත්, නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් තමන්ගේ ජන පදනම රැකගැනීමට සමත්ව තිබෙන බවත්, අනාවරණයව ඇත.මෙවන් තත්ත්වයක් ඇතිවීමට බලපා තිබෙන හේතු රාශියකි.ජීවන වියදම ඉහළ යාම, කැළිකසළ ගැටලුව, වෘත්තිය සමිති දියත් කරන වැඩවර්ජන, ඩෙංගු වසංගතය, සහ නීතිය හා සාමය ක්‍රමයෙන් විනාශ වෙමින් පැවැතීම, ඒ අතරින් ප්‍රධානය.තත්ත්වය තවත් ව්‍යාකූල කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් හදුන්වාදීමට රජය දරන උත්සාහයයි.බෞද්ධාගමට හිමිව ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමටත්, එකීය රාජ්‍ය සංකල්පය ඉවත් කිරීමටත්, මෙම නව ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා හමුවේ රජය තවත් අපහසුතාවයට පත්වෙමින් සිටී.මෙම අභියෝගවලට මුහුණදීමට ඇති නොහැකියාව හමුවේ රජයට සිදුව තිබෙන්නේ “රටේ රජයක් තිබෙනවාද“ යැයි රාජපක්ෂ සහ ඔහුගේ සහයකයින් නගන නින්දාවන්ට ද මුහුණදීමටය.

මේ හමුවේ රජය පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණයට මුහුණදෙන්නේ කෙසේ ද?, පළාත් පාලන ආයතන මැතිවරණය මෑතක දී පැවැත්වෙන ලකුණක් නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය දැනටමත් යොමුව තිබේ.මෑතක දී පැවැත්වුණු ඉහළ පෙළේ සමුලුවක දී යෝජනා වී තිබෙන්නේ සියලුම පළාත් පාලන ආයතන මැතිවරණයන් එකම දිනක දී පැවැත්විය හැකි වන සේ පවත්නා නීති සංශෝධනය කිරීමටය.එවැන්නක් සිදුකිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුව තිබෙන බව මැතිවරණ කාර්යාලයේ ජේ්‍යෂ්ඨ නිළධරයෝ දැනුම් දී ඇත.නමුත් අදාළ නීති සංශෝධනය කිරීමට පාර්ලිමෙන්තු අනුමැතිය ලබාගැනීම පමණක් සෑහෙන බව රජයේ නායකයින්ගේ අදහසයි.

මහා පරිමාන වංචා හ දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ කටයුතුවල මන්දගාමී ස්වභාවයත්, වත්මන් රජයේම ඇතැමුන් වංචා හා දූෂණ කටයුතුවල නියැළී සිටීමත් හමුවේ තත්ත්වය තවදුරටත් බරපතලව ඇත.මේ පිළිබදව ජනපතිවරයා හා අගමැතිවරයා දෙදෙනම දැනුම්වත්ව සිටිතත්, වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට ප්‍රකාශන නිකුත් කර ඇතත්, ඒ අරබයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම හමුවේ රජය කෙරේ ජනතා විශ්වාසය තවදුරටත් පළුදුව ගොස් තිබේ.

රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ හිතෛශීන්ට එරෙහිව පැවැත්වෙන විමර්ෂණ, ලිහිල් පිළිවෙතකින් දියත් කිරීමට ඉඩහැර තිබීම හමුවේ මහත් හානියක් සිදුව තිබෙන බව ප්‍රමාද වී හෝ වටහා ගැනීමට ජනපති සිරිසේනට හැකිව තිබෙන බව පැහැදිලිය.ඔහු ඒ සම්බන්ධයෙන් දැනටමත් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කර අවසන්ය.ඔහුගේම සන්ධානයේ අතපසුවීම් නිසා, රජයේ විශ්වසනීයත්වයට, විශේෂයෙන් ඔහුගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වසීයත්වයට දැඩිව පහර වැදී තිබෙන බවත්, රටේ ජනපතිවරයා ලෙස තම ජනප්‍රියත්වය ඉතාම සීඝ්‍රයෙන් සෝදාපාලුව ගොස් තිබෙන බවත්, ඔහු අවබෝධ කරගෙන ඇත.රාජපක්ෂ නැවත බලයට පැමිණියහොත් පෞද්ගලික වශයෙන් තමන්ට අත්විදීමට සිදුවනු ඇති ප්‍රතිවිපාකයන් ද, ජනපති සිරිසේනගේ සිතේ රැදී ඇතිවාට සැකටක් නැත.එනිසාවෙන්ම, මුහුණට මුහුණ හමුවී, සාකච්ඡා මාර්ගයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා සමග ගැටලුව විසදා ගැනීම වෙනුවට ඔහු සෘජුවම පහර එල්ල කළේ ය.කෙසේවුවත් ඔහු හා සමීප ආරංචි මාර්ගයක් කියා සිටියේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණයන් පිළිබද ජනපති සිරිසේන නොයෙක් වර අගමැති වික්‍රමසිංහ හා සාකච්ඡා කළ බවය.කසුකුසුවකට සීමාවී තිබූ දෙය දැන් රටම දැනගෙන අවසන්ය.

බැඳුම්කර කොමිසමේ විමර්ෂණය


මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත්කර ඇති කොමිසම හමුවේ අනාවරණය වෙමින් තිබෙන කරුණුවලින් දේශපාලනමය වශයෙන් ශක්තිමත් වීමට ජනපති සිරිසේනට හැකියාව ලැබී තිබෙතත්, එසේ යැයි කියා විවේක ගැනීමට ඔහුට අවකාශ නොමැත.හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරමින් අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ නායකයෝ, ඔහු කිසිදු වංචනික කටයුත්තක නියැළී නොමැති බව සහතික කර කියා සිටිතත්, කොමිසම ඉදිරියේ දිගහැරෙන සාක්කිවලින් පැවසෙමින් තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්ය.

ප්‍රමුඛ පෙලේ විමර්ෂණ කිහිපයක කටයුතු කාර්යක්ෂම කිරීමට ද පියවර ගෙන තිබෙන අතර, පොලිස් ආරංචි මාර්ගවලට අනුව රාජපක්ෂවරුන් හා ඔහුගේ හිතවතුන් ඉලක්ක කැරෙන අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම ඉදිරියේ දී සිදුවීමට නියමිතය.නමුත් ගැටලුව ඇත්තේ මෙවන් අත්අඩංගුවට ගැනීම්, රටේ වත්මන් තත්ත්වය වසා දැමිීමට ගන්නා උත්සාහයන් ලෙස හුවා දැක්වීමට ඇති ඉඩකඩය.මේ නිසා ජනපති සිරිසේනට සහ ඔහුගේ රජයකට කොපමණ තරමේ ජනප්‍රියත්වයක් දිනාගත හැකිවනු ඇතිදැයි යන්න ගැටලුවකි.එහෙත් කිසිත් නොකර සිටීමෙන් ද සිදුවන්නේ තත්ත්වය තවත් බරපතල වීම පමණකි.

එක්සත් ජාතික පක්ෂයට ද ප්‍රබල පහරක් වැදී තිබේ.කැබිනට් මණ්ඩලයේ දී ජනපති සිරිසේනගෙන් නැගූ පැනයට අමතරව, ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ දක්වාම එක්සත් ජාතික පක්ෂයේ නායකයා හෝ එහි ප්‍රධාන පෙලේ සාමාජිකයෙක් හෝ කිසිදු අදහසක් පළකර නොමැත.කැබිනට් මණ්ඩලයේ රහසක්ව පැවැතිය යුතුව තිබිය යුතු දෙයක තතු දැන් රටම දන්නේ ය.එය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සුභ පුවතක් නොවේ.

මේ හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් රැදී සිටින්නේ මංසන්ධියකය.දෙපාර්ශවය අතරින් වැඩි අභියෝගවලට මුහුණදෙමින් සිටින්නේ ජනපති සිරිසේනය.රාජපක්ෂවරුන් නීතිය හමුවට ගෙන ඒමට ඔහුට අවැසිය.නමුත් ඒ සදහා ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් කොපමණ සහයක් ලැබෙනු ඇතිද යන්නත්, එම සහය ලබාගැනීම සදහා ඔහු කොපමණ දුරකට යනු ඇතිද යන්නත්, ගැටලුවකි.
 
පරිවර්තනය - කෝවිද ගුණසේකර

සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි

No comments:

Post a Comment