12 July 2017

රට ඒකීයයි – නමුත් කුණු ෆෙඩරල්

ව්‍යවස්‌ථාවට අනුව රට ඒකීය වුවත්, කුණු ප්‍රශ්නයේදී එය ෆෙඩරල් ලෙස පිළිගෙන ක්‍රියා කිරීම තමා අනුමත නොකරන බවත්, කොළඹ කුණු අපට එපා යෑයි කියන සටන් පාඨයන් ඉවත් කර ගනිමින් කුණු ප්‍රශ්නය තර්කානුකූලව අවසන් කළ යුතු බවත්, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා පැවසීය.

කොළඹ කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සහ කොළඹ කුණු ප්‍රශ්නය විසඳා ගැනීම සම්බන්ධව මහජනතාව සහ මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ඉකුත් දා කොළඹ මහනගර සභා පරිශ්‍රයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙම අදහස්‌ ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැති මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

කොළඹ කුණු අපට එපා කියලා මේ රටේ වෙසෙන කවුරුවත් කියන්න එපා. කොළඹ කුණු අපේ කුණු නොවෙයි. අපට එපා කියලා කියන ඒ සටන් පාඨය ඉතා වැරදි අගතිගාමී, දේශ විරෝධී සටන් පාඨයක්‌ බව කිව යුතුයි. එය කවුරුත් අමතක නොකළ යුතු කරුණක්‌. කොළඹ යනු මාලදිවයිනේ අගනුවර නොවෙයි. ඉන්දියාවේ අගනුවර නොවෙයි. එහෙමත් නැත්නම් එංගලන්තයේ අගනුවර නොවෙයි. කොළඹ කියන්නේ අපේ අගනුවර. මා සිතන ආකාරයට මා දන්නා අයුරින් කොළඹ ජනගහනය ලක්‍ෂ හයක්‌ හෝ හයහමාරක්‌ පමණ වෙනවා. නමුත් ඒ වගේ දෙගුණයක්‌ පිටතින් කොළඹට එනවා. ඉතින් ඒ නිසා කුණු එන්නේ කොළඹින් පිට ඉඳලා තමයි. ඉතින් අපිට අපේ කොළඹ ජනතාව උසි ගන්වා, කැලණි පාලමටත් පෙර සිට කොළඹට එන ජනතාව නවත්වලා කාටවත් බඩු අරගෙන එන්න බැහැ. පැමිණිය යුත්තේ හිස්‌ අතින් කියලා කිව්වොත් කොහොම හරි එය සිදු වෙයි.

නමුත් එහෙම කියන්න බැහැනේ. අපටත් කියන්න පුළුවන් කොළඹට කුණු ගෙන්න එපා කියලා සටන් පාඨයක්‌ හදලා කුණු ගෙන එන එක නවත්වන්න. නමුත් එය කරන්න බැහැ. වගකීමක්‌ තිබෙන වග කියන උදවියට එය කරන්න බැහැ. අපේ රට මේක. මෙම නගරය ජාතියේ අගනුවර. එය තේරුම් ගත යුතුයි. ඒ නිසා කරුණා කරලා මෙවැනි සටන් පාඨ කියන්න එපා. බලන්න අපි දැන් ව්‍යවස්‌ථාව ගැන කතා කරනවා. ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් මේ රටේ මහා නායක හිමිවරුන් සමගද සාකච්ඡා කරනවා. උන්වහන්සේලා උපදෙස්‌ දෙන්නෙත් මේ රට ඒකීය රට එකම රට එකම ශ්‍රී ලංකාවක්‌ කියලා තියෙනවා. එය හොඳයිනේ උන්වහන්සේලා අපේ සංකල්පය පිළිඅරගෙන තිබෙනවා.

අපේ ආණ්‌ඩුවට උදවු උපකාර කරන්න සහයෝගය ලබා දෙන්න කුණු ප්‍රශ්නය තුළ වැරදි සිදු වුණා තමයි. ඇත්ත පිළිගත යුතුයි. ඇත්ත කියන්න අපි ලැඡ්ජා වෙන්නේ නැහැ. නමුත් ඒක ආරම්භ කළේ අපේ ආණ්‌ඩුවෙන් නොවෙයි. පසුගිය ආණ්‌ඩුවෙන් ලැබුණු දැවැද්ද අපට ඕන තරම් තිබෙනවා. එහි ප්‍රධාන දැවැද්ද තමයි මෙය. ඒක අමතක කරන්න එපා. ඒ නිසා මේ කුණු දැවැද්ද අපි දැන් කළමනාකරණය කරලා ඉදිරියට අරගෙන යන බව කියන්න ඕනි. ඒ නිසා අපේ ජනාධිපතිතුමා ඒ සඳහා අපට මඟපෙන්වීම ලබා දීලා තිබෙනවා. උපදෙස්‌ ලබා දීලා තිබෙනවා. අග්‍රාමාත්‍යතුමාත් උපදෙස්‌ ලබා දීලා තිබෙනවා. ඒ අනුව අපි ගමනක්‌ යනවා.

No comments:

Post a Comment