24 June 2017

රුපියල් බිලියන 1043ක ලේඛන භාණ්ඩාගාරයෙන් අතුරුදහන්

2015 ජනවාරි මාසයේදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර මගින් ගත් ණය අතරින් රුපියල් බිලියන 1043ක ගනුදෙනු භාණ්ඩාගාරයේ සටහන්ව නොමැති බව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වී ඇත.

ආණ්ඩුව භාණ්ඩාගාරය හරහා ගන්නා සියලුම ණය, ‍ලේඛනගත කරන බවත් ඊට පරිබාහිරව අනෙකුත් ආයතන ගන්නා ණය ඒ ඒ ආයතනවල ශේෂපත්‍රවල සඳහන් වන අවස්ථා තිබෙන බවත් අනාවරණය වී තිබේ.

එසේම රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන තමන්ගේ ප්‍රතිපාදන ඉක්මවා දේශීය හෝ විදේශීය බැඳීම් ඇති කර ගන්නා බවද ඒ අනුව 2015 වසරේ ලබාගත් තොරතුරු අනුව මෙම ප්‍රමාණය රුපියල් බිලියන 1043ක් බවද රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නවතම වාර්තාවේ දැක්වේ.

මෙවැනි ගනුදෙනු භාණ්ඩාගාරයේ සටහන්ව නොමැති වුවද ආණ්ඩුව වෙනුවෙන් භාණ්ඩාගාරයට එම මුදල් ගෙවීමට සිදුවන බැවින් අවිනිශ්චිත බැරකමක් ඇති වන බව භාණ්ඩාගාරයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කමිටුව හමුවේ දක්වා ඇත.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව එහි සභාපති ලසන්ත අලගියවන්න විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

No comments:

Post a Comment