24 June 2017

ඉදිරි කාලයේදී ඉක්මන් ගංවතුර තත්ත්ව ඇති වීමේ අවදානමක්

ඉදිරියේදී වෙනදාට වඩා කුඩා කාලයකදී ඇද හැලෙන වර්ෂාව වේගවත්ව හා වැඩි ධාරිතාවයකින් ඇද හැලෙන්නට. හැකි බවත් ඒ හරහා ඉක්මන් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇති බවත් ඊයේ උපායමාර්ගික ව්‍යවසාය කළමණානරණ ආයතනයේ පැවති ජාතික ආපදා සහ ආපදා කළමනාකරණය පිළිබඳ විද්වත් කතිකාවේදී සෙමා ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය සියයට පනහක් දක්වා වැඩි වී ඇති බවත් මුහුදේ ජල මට්ටම සෙන්ටි මීටර් විස්සක් පමණ ඉහළ ගොස් ඇති බවත් ඉදිරි කාලයේ පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ත් 4ත් දක්වා ඉහළ යා හැකි බවට පවත්වන ලද පරීක්ෂණයන් හරහා සොයා ගෙන ඇති බවත් අශෝක මහතා ප්‍රකාශ කළේය. එම නිසා මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යන විට ඇති වන අධික වාෂ්පීකරණය නිසා ඉක්මනින් නියං තත්ත්වයන් ඇති වන බව මෙන්ම ඊට සාපේක්ෂවම ඇද හැලෙන කෙටි කාලීන වර්ෂාවන් ඇති වූවද වේගවත් හා විශාල ජල කඳන් පතිත වීමෙන් ක්ෂණිකව ගං වතුර තත්ත්වයන් ඇති විය හැති බවත් එහිදී අනාවරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම විනාශකාරී හේතු සඳහා වගකිව යුත්තේ මිනිසා බවයි. සංවර්ධනයේ මුවාවෙන් ඉහළ ජලාධාර ප්‍රදේශ තුළ සිදුවන්නා වූ විනාශකාරී වෙනස්කම් හා පහළ ජල පෝෂක ප්‍රදේශයන් විනාශ කරමින් සිදුකරන ඉදි තිරීම් මේ සඳහා මූලික වශයෙන් බලපෑම් ඇති කරන බවයි.තෙත් බිම් හා සංරක්ෂිත ප්‍රදේශ සංවර්ධනය යනුවෙන් කියා දක්වන ක්‍රියාකාරකම් නිසාද පරිසර සංවේදී ප්‍රදේශයන් විවිධ මිනිස් අවශ්‍යතා සඳහා යොදා ගැනීමෙන් විශාල පරිසර හානි සිදුවන බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කියා සිටියේ ආපදා කළමනාකරණය පිළිබඳ කතා කිරීමේදී එය සිදු කළ යුත්තේ දැනුමට මුල්තැන දීමෙන් නොව මිනිස් ඉවට මුල් තැන දීමෙන් බවයි.

එම අවස්ථාවට සහභාගී වු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර සිටියේ නිවැරදි දැක්මක් නොබෙදුණු සියලු ජාතීන්ගේ එකතුවක් හා නිවැරදි නායකත්වයක් මඟින් ඉතා පහසුවෙන් ආපදා කළමනාකරණය කළ හැකි බවයි. එමෙන්ම එකතුවීම තළ යුත්තේ ආණ්ඩු පෙරළීම හෝ තවත් අයෙත් විවේචනය සඳහා නොව රටට බලපාන ජාතික ගැ‍ටලුවලට පිළියම් යෙදීමට වන බවට උන්වහන්සේ අනාවරණය කළ සේක.

එම අවස්ථාවට පාහියන්ගල ආනන්ද හිමි, මහාචාර්ය නිමල් ගුණතිලක, හේමන්ත විතාරණ ඇතුළු ගිහි පැවිදි විද්වත් මණ්ඩලයක් සහභාගී විය.

No comments:

Post a Comment