24 June 2017

ඇලෝසියස්ගේ අරක්කුවලට සුරාබදු දෙපාර්තමේන්තුවත් යටවෙයි

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රාථමික අලෙවිකරුවෙකු වන පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකාරිත්වය යටතේ පවත්වාගෙන යන මෙන්ඩිස් අරක්කු සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවියයුතු කෝටි ගණනක බදු මුදල් මාස ගණනකින් ගෙවා නැතැයි දූෂණ විරෝධී හඬ සංවිධනාය පවසයි.

මැයි මාසයට අදාළව කෝටි 32ක් සුරාබදු දෙපාර්තමේන්තුවට හිමිවිය යුතුව තිබුණද එය මෙතෙක් ගෙවා නැතැයිද එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

අරක්කු නිෂ්පාදනය කරන සමාගම් දින 15කට වරක් සුරා බදු දෙපාර්තමේන්තුවට බදු ගෙවියයුතු වුවද අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් මෙන්ඩිස් සමාගම මැයි මාසයේ පමණක් නොව ජුනි මාසයට අදාළව ගෙවිය යුතු බදු මුදලද මෙතෙක් ගෙවා නැති බවද ඒ මහතා සඳහන් කරයි.

නිසි ලෙස සුරා බදු නොගෙවන්නේනම් එම සමාගමේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව තහනම් කර එම සමාගම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතුව තිබියදී සුරා බදු දෙපාර්තමේන්තුව එසේ නොකර මෙන්ඩිස් සමාගමට ජූනි මාසය සඳහාද නිෂ්පාදන කටයුතුවලට අවසර ලබා දී ඇති බවද වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

No comments:

Post a Comment