12 June 2017

අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙනුවෙන්

 අයි.සී.සී ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන තෙවැනි තරගය අද (12දා) එංගලන්තයේ කාඩිෆ්හිදී පැවැත්වේ. ඒ පාකිස්තානු කණ්ඩායම සමගිනි. 'බී' කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන සියලුම කණ්ඩායම් මෙම සටහන තබන මොහොත වනවිට එක් තරගය බැගින් ජයගෙන සිටින බැවින් අද තරගය ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්තානයටද එකසේ වැදගත්ය. ඒ අද තරගය ජයගන්නා කණ්ඩායමට අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවන බැවිනි.

පසුගිය බ්‍රහස්පතින්දා (08දා) ඉන්දියාවට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගය විශිෂ්ට ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකාව 'බී' කාණ්ඩයේ තරගකාරීත්වය තීව්‍ර කළේය. විශේෂයෙන් අත්දැකීම් අඩු තරුණ කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 322ක ඉලක්කයක් පසුපස හඹා ගොස් අත්දැකීම් බහුල ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත්කිරීම පැසසිය යුතුය. එවැනි දක්‍ෂතාවක් ඉදිරිපත් කළ හැක්කේ, හැකියාවෙන් පෝෂිත කණ්ඩායමකට පමණි. ්කෙදක්ෂතාවක් ඉදිරිපත් කළ හැක්‍ෙකෙසේ වෙතත් එවැනි දක්‍ෂතාවන් දිගින් දිගටම ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය. එසේ නොවන්නට ඉන්දියාවට එරෙහිව ලද ජයග්‍රහණය අහම්බයක් වනු වැළැක්විය නොහැකිය.

චාමර කපුගෙදරගේ ආබාධය හේතුවෙන් දෙවැනි තරගයට ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරමින් කණ්ඩායමට අවශ්‍යම ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුගේ ඉනිම දෙවැනි තරගයේ ජයග්‍රහණයට ප්‍රබල පිටිවහලක් විය. අද තරගයේදී ද ආරම්භක පිතිකරුවන්ගෙන් හොඳ ආරම්භයක් අවශ්‍යය. එසේ වුවහොත් පාකිස්තානු කණ්ඩායම පහසුවෙන් පීඩනයට හසුකරගත හැකිය.

 දෙවැනි තරගයේදී ආබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායම සමගින් එක්ව සිටියි. කුසල්ගේ ආබාධය ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසියකි. ඒ අවසන් පන්දුවාර කිහිපයේදී මෙන්ම ලකුණු වේගයෙන් රැස්කළ යුතු අවස්ථාවක කුසල් ජනිත් වැනි ක්‍රීඩකයෙකු කණ්ඩායමේ සිටීම ඉතා වැදගත් වන බැවිනි. එබැවින් කුසල් ජනිත් වෙනුවට ධනංජය සිල්වා කණ්ඩායම සමගින් එක් වුවද සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට කැඳවීමට අවස්ථාවක් ඇත.

මේ අතර තිසර පෙරේරාද පෙරේදා (10) සිය පුහුණුවීම්හි නිරතව සිටියදී පන්දුව හිසේ වැදී ආබාධයකට ලක්ව තිබේ. එසේ නමුත් ඉන් තිසරට එතරම් බලපෑමක් නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

දෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්, පන්දු යවන්නෙකු ලෙස අසේල ගුණරත්න යොදාගත් ආකාරය ගැන එතරම් සෑහීමකට පත්විය නොහැකිය. අප දන්නා පරිදි පසුගිය තරගාවලි කිහිපයේ සිටම අසේල ගුණරත්න හොඳින් පන්දු යවමින් සිටියි. එවැනි තත්ත්වයක් යටතේ මෙන්ම කඩුල්ලක් දවාගෙන සිටි අවස්ථාවක ඔහුට තවත් එක් පන්දු වාරයක් යැවීමට අවස්ථාවක් ලබාදෙන්නට තිබුණි. එම පන්දුවාරයට වේගයෙන් ලකුණු රැස්කළේ නම් පමණක් ඔහුව ඉවත් කරන්නට තිබුණි. එසේ නොමැතිව පන්දුවාර 3ක් යවා ලකුණු 7කට එක් කඩුල්ලක් දවාගෙන සිටි අවස්ථාවේ, අසේල පන්දු යැවීමෙන් ඉවත් කිරීම නොකළ යුතුව තිබුණි.

දෙවැනි තරගයේදී ප්‍රහාරයකට ලක්වුවද, ලසිත් මාලිංග අද තරගයේදී සිය වගකීම මැනවින් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. විශේෂයෙන්ම තනිව තරගයක් ජයග්‍රහණය කළ හැකි පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර පිටියේ නමක් දිනා සිටින ලසිත්, අද තරගයේදී සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙනු ඇතැයි බොහෝදෙනාගේ විශ්වාසයයි. එසේ වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල වාසියකි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (12දා) ප.ව. 3.00 ආරම්භවීමට නියමිතව ඇත.

No comments:

Post a Comment