06 July 2017

රන්ජන්ගෙන් රජයට චෝදනා

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමෙන් එම පක්ෂයේ සොරුන්ද, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම තුළ එක්සත් ජාතික පක්ෂයේ සොරුන්ද ආරක්ෂා වී ඇතැයි සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රති‘ශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත් විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු පවසා සිටියේ, රට තුළ පීඩිත පන්තියේ අයට වෙනම නීතියක් සහ උසස් ප්‍රාන්තිකයන්ට වෙනම නීතියකුත් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව සොරුන්ට පක්ෂ, පාට නොබලා දඬුවම් ලබාදිය යුතු බවත්, සොරුන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළගැසිය යුතු බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සොරුන් අල්ලන බවට රජය ජනවාරි 08 වැනිදා පොරොන්දුවක් ලබාදුන්නද එය නිසියාකාරව ඉටුව ඇත්දැයි යන්න ගැටලුවක් පවතින බවයි.

කැපුවත් කොළ, කැපුවත් නිල් ජනතාව සිටින ශ්‍රී ලංකාව කිසිදාක යහපත් අතට පත් නොවෙනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

තමන් මේ කතාව කළ පසුව නායකයන් විරසක වෙනු ඇති බවත් නමුත් එය තිත්ත ඇත්ත බවත් ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment