06 July 2017

ගල්ෆ් ඉල්ලීම් පිළිනොගත් කටාරයට තවත් සම්බාධක

 කටාරය වෙත සෞදි අරාබිය ඇතුළු අරාබි රාජ්‍යයන් හතරක් විසින් ලබාදුන් ඉල්ලීම් එකතුව ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නිසා කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක පැනවෙනු ඇති බව සෞදිය පවසයි.

කයිරෝ නුවරට රැස්වූ සෞදිය ප්‍රමුඛ අරාබි රාජ්‍යයන් හතරේ විදේශ අමාත්‍යවරුන් පවසා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් 13 ඇතුළත් යෝජනාවලිය සම්බන්ධයෙන් කටාරය සෘණෘත්මක ප්‍රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි.

සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පසුගිය මාසයේ සිට කටාර් රාජ්‍ය සමග පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආර්ථික සබඳතා අත්හරිමින් එරටට සම්බධක පැනවීය.

කටාර් රාජ්‍ය ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන් වෙත අරමුදල් සපයන බවට චෝදනා කරමින් හා ඔවුන් ඉරානය සමග පවතින සමීප සබඳතාව ඇතුළු තම රටේ ප්‍රමුඛ ප්‍රතිපත්තිවල වෙනසක් සිදුකළ යුතු බව පවසමින් මෙම සම්බාධක පැනවීම සිදුවිය.

ඒ අනුව, කටාර් රාජ්‍ය මේ වනවිට මුහුණදී සිටින තත්ත්වයේ බරපතළකම සම්බන්ධයෙන් ඔවුන්ට පවතින්නේ අවම අවබෝධයක් බව අරාබි රාජතාන්ත්‍රිකයෝ පවසති.

මේ අතර, සෞදි විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ කටාරයට එරෙහිව තවදුරටත් කටයුතු කිරීම අවශ්‍ය මොහොතේ සිදුවන බවයි. මේ සියලු දෑ ජාත්‍යන්තර නීතිය යටතේ සිදුවනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

අපි මෙය කරන්නෙ අපිට කටාරයට රිදවීමට අවශ්‍ය නිසා නොවෙයි. අපි මෙය කරන්නේ කටාරයට උදව් කිරීමට අවශ්‍ය නිසයි යනුවෙන් සෞදි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම අරාබි රාජ්‍යයන් හතර විසින් ලබාදී තිබූ ඉල්ලීම් 13 පිළිබඳව එකඟත්වයට පැමිණීමට කටාරය වෙත මුලින් ලබාදුන් දින 10ක කාල සීමාවෙන් පසුව, තවත් පැය 48ක අමතර කාලයක්ද පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණත්, එයද මේ වනවිට ඉක්ම යෑමත් සමග අදාළ රාජ්‍යයන් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

No comments:

Post a Comment