07 April 2017

මහනුවර රථවාහන තදබදයට තිත – සුදුහුම්පොළ සිට තැන්නෙකුඹුර දක්වා 5.5km ක දිගින් යුතු ද්විත්ව මංතීරු උමං මාර්ගයක්




මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස කිලෝමීටර් 5.5 ක දිගින් යුතු ද්විත්ව මංතීරු උමං මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (04) පැවැති කැබිනට් හමුවේදී මේ සඳහා අනුමැතිය ලැබී තිබේ. මහනුවර දළදා මාළිගය ඉදිරිපිට ඇති මාර්ගය වසාදැමීම හේතුවෙන් මහනුවර නගරයේ දැඩි රථවාහන තදබදයක් පවතින  බවට බොහෝ පිරිස් චෝදනා කළ අතර, එයට විසඳුමක් ලෙස මෙම තීරණය ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මහනුවර දළදා මාර්ගය ඉදිරිපිට මාර්ගය වසා තැබීමටත් ඒ වෙනුවට කිලෝමීටර් 5.5ක් දිග මෙම උමං මාර්ගය ඉදිකිරීමටත් නියමිතය.

මහනුවර සුදුහුම්පොළ සිට තැන්නෙකුඹුර දක්වා මෙම ද්විත්ව උමං මාර්ගය ඉදිකෙරෙන අතර, නුවරවෙල හංදිය සහ බෝගම්බර ලෙස අන්තර් හුවමාරු දෙකක් ඇතුළත් කර තිබේ.

මෙම උමං මාර්ගය ඉදිකිරීමත් සමග මහනුවර නගරය, විලියම් ගොපල්ලව මාවත, මහනුවර වැව රවුම මාර්ගය, දළදා මාළිගාව සිට තැන්නේකුඹුර දක්වා මාර්ගයන්හි පවතින තදබදයට විසඳුමක් දියහැකි බව රජයේ අපේක්ෂාව වී තිබේ.

ආරක්ෂිත නැවතුම් පහසුකම්, ආරක්ෂිත පිටවීමේ පහසුකම්  ඇතුළත්ව අන්තර්ජාතික තත්ත්වයෙන් යුතුව නවීන උමං මාර්ගයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම උමං මාර්ගය කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල යටතේ ඉදිකිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

No comments:

Post a Comment