07 April 2017

ඝාතක කණ්ඩායමට ඇප දීමට මහේස්ත්‍රාත්වරියට බලපෑම් කළේ කවුද ?



'ද නේශන්' පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර ලෙස වධහිංසාවට පැමිණවීම පිළිබඳ නඩුව පසුගිය 30 වනදා කැඳවූ අවස්ථාවේදී එදිනට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව විසුරුවා හැර සැකකරුවන්ට ඇප ලබාදීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. ඊට හේතුවූයේ තමාව පැහැරගෙන ගොස් පහරදුන් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා හඳුනාගැනීමේ පෙරෙට්ටුවට සහභාගී වන මෙන් කීත් නොයාර් මහතාට දිගින් දිගට ම රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා දැනුම්දීම් කළ ද ඔහු ඊට නොපැමිණීමය.

කීත් නොයාර් මහතා දැනට වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තම නඩුවට ඉදිරිපත් නොවීම පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර ලිපියකින් ප්‍රශ්න කළෙමු. පැමිණිලිකරු ඉදිරිපත් නොවීම හේතුවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුව විසුරුවා හැරීම එකකි. එහෙත් කීත් නොයාර් පැහැරගැනීමේ චෝදනාව එල්ල වූ රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව ද සැකකටයුතු බවට පරීක්ෂණ වලින් හෙළිදරව් වී තිබියදී ඔවුන් ඇප මත මුදා හැරීම වෙනමම එකකි. මන්දයත් කීත් නොයාර් නඩුවේ චෝදනා ගොනුකර තිබූ ස්වභාවය අනුවම ඇප ලබාදීම කළ නොහැකි බැවිනි.

මෙම නඩුව විභාග කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අධිකරණ සේවයට පත් කරන්නේ කුප්‍රකට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා විසිනි. එසේම ඇය සරත් එන්. සිල්වාගේ අංක එකේ පුරෝහිතයකු වන සහ රාජපක්ෂ රෙජීමයේ අංක එකේ ගෝලයකු වූ, වැඩ තහනමට ලක්වූ අරවින්ද පෙරේරාගේ සමීපතම හිතවතිය ද වේ. මේවා නඩු විභාගය හා බැඳෙන්නේ කීත් නොයාර් පැහැරගැනීම සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා උක්ත කී රාජ්‍ය බුද්ධි සේවා ඝාතක කල්ලිය යෙදවූයේ රාජපක්ෂ රෙජීමය ම නිසාය.

ලෝචනා අබේවික්‍රම අතිරේක මහේස්ත්‍රාත්වරියට නීතිය පිළිබඳව අවබෝධයක් නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල ඝාතක කල්ලියේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ කීත් නොයාර් මහතාට කෲර ලෙස වධ හිංසා පැමිණවීම පිළිබඳව සහ ගිනි අවි පනත යටතේය. ඇය විසින් චූදිතයින්ට ඇප නියම කෙරුණේ, ගිනි අවි පනත යටතේ චෝදනා ගොනු කළ සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරුන් විසින් ඇප ලබාදිය නොහැකි බව අධිකරණයේ සඳහන් කර සිටියදීත් ය. ගිනි අවි පනත පිළිබඳව නීතියේ ඉතාම පැහැදිලිව සඳහන් ව තිබියදීත් මහේස්ත්‍රාත්වරිය විසින් අත්තනෝමතික ලෙස අදාල ඝාතක කණ්ඩායමේ සැක කරුවන්ට ඇප නියම කරන්නේ ඇයට ඉහළින් පැමිණ ඇති නියෝගයක් අනුවය.

මෙම ඇප නියම කිරීමේ තීරණය වෙනස් කරවා ගැනීම සඳහා ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා දැනට කටයුතු කරන බව වාර්තාවේ. මේ පිළිබඳව විශේෂ සාකච්චාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ නීතිපතිවරයා අතර පසුගියදා සිදුකෙරුණු බවට ද වැඩිදුරටත් වාර්තා විය.

මෙම ඝාතක කල්ලි සාමාජිකයින්ට ඇප ලබාදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වුවමනාව අනුව සිදුවූවක් බවට බොහෝ අය සැක පහළ කළද අප වෙත වාර්තා වන්නේ ඝාතක කල්ලිය නිදහස් කරවාගෙන තමුන්ද නිදහස් වීමේ වුවමනාව ඇති හිටපු පාලක කල්ලිය තමන්ගේ සහචරයින් ඊට අදාල තැන්වල ස්ථානගත කරගෙන ඇති බවය. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා තම කාලීන දේශපාලනික හැව ඇරීම් වලට අනුව මේ වන රැඳී සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂගේ තුරුළේය.

LNW

No comments:

Post a Comment